පාන්දරින් නැගිට්ට මම බිත්තියේ එල්ලිලා ඉන්න මල්ලට කතා කළා.

“ම්හ්”

ඌ තාම නිදි මල්ල අතට අරං සටස් පටස් ගාලා ගස්සා දැම්මා.

“මොන රදේදක්ද”කියල මල්ල ඇහැරුණා.

ඈනුමක් ඇරිය මල්ල ආයෙත් නිදාගන්න මගේ කරේ එල්ලූනා. මං මේසෙ උඩ තියපු බලාපොරොත්තු ටික එකතු කරල මල්ලට පුරව ගත්ත. ඊට උඩින් අනුන්ගෙන් ඉල්ලගත්ත ඝනක යන්තරේ තිබ්බ.

“ජීවිතේම සැහැල්ලූවෙන් හිතපු තමුසෙ මොකද අද බරට හිතන්නෙ” හිත අහනව මගෙන්.

සුබදායක ගමනක් යන්න හදනකොට ඔය වගේ කතා කියන්න හිතට හිතක් පපුවක් නැද්ද මන්ද? මට ඉබේටම කියවුණා. එතකොට හිත කීරි ගැහුණා. හිතට ඒ ගැන දුක හිතෙන්න ඇති.

“අද අවසාන අවුරුද්දෙ විභාගෙනෙ”

බස් එකට නගින්න බස් හෝල්ට් එකේ ඉන්න ගමන් මං මල්ලට කිව්ව. මල්ල හක හක ගාලා හිනාවෙලා කියනව,

“බොහොම සන්තෝසයි” කියල

කාලෙකින් මල්ල වුණත් මං ගැන සන්තෝස වුණ එක ගැන මං සන්තෝස වුණා.

“ඇයි තමුසෙ සන්තෝස වෙන්නෙ” ඒ මම මල්ලෙන්.

මල්ල මටත “අවුරුදු හතරක් තිස්සෙ කදුළු ගෑස් එක්ක බැටන් පොලූ පාරවල් කාලා දැන් මට එපාවෙලා. හෙට අනිද්ද මාව සදහටම බිත්තියේ එල්ලල අලූත් මල්ලක් ගනීනෙ. රස්සාවක් එහෙම ලැබුණාම, මොකද තමුසෙ හොඳ උගතනෙ”

මට මල්ල ගැන ලැජ්ජ හිතුණ. මේ වගේ මල්ලක්නෙ මං අවුරුදු හතරක් තිස්සෙ කරේ එල්ලගෙන හිටියෙ කියල.

“බරාස්” ගාලා ප්‍රයිවෙට් බස් එකක් කණ උඩ නැවැත්තුවා.

හිත වෙවුලල ගියා කියල හිත කියනව. සයිඩ් කන්නාඩිය සාක්කුවේ දාගෙන මම බස් එකට එක කකුලක් තියාගෙන එල්ලූනා.

බස් එක ඉස්සරහට ඇදෙනව. මමත් තව කිහිපදෙනකුත් යන්නෙ පදික වේදිකාව උඩින්. සමහර වෙලාවට ගෙවල් වල මිදුල් වල උඩින්, කඩ බක්කි ගාවින්. මමයි බස් එකයි අතරින් ලයිට් කණු පහුවෙයි කියල මට වෙලාවකට බයත් හිතෙනව.

“බය වෙන්න එපා”

මම පස්ස හැරිල බැලූව කවුද කියල, දත් තිස්දකෙම මගේ මූණගාව. මිනිහ ටයි පටියකුත් ගහගෙන. මාත් එක්ක ෆුට් බෝඩ් එකේ.

“බය වෙන්න එපා ? තමුසෙ හරියට රක්ෂණ නියෝජිතයකේ වගේනෙ”



මගේ හිත බනිනව අර මිනිහට. හිතක් ගැන හිතා ගන්න බැරුව මිනිහ හිනාවෙනව.

“වැටුණත් ඉතිං පොළොවෙං එහාට වැටෙන්නෙ නෑනෙ”

අනේ උගේ මෝඩ කතා. බස් එකෙන් බිමට වැටුණොත් පොළොවෙන් නවතින්නෙ නෑ. එම්බාම් කරල පොළොවෙනුත් අඩි ගානක් පස් යට ගහන්න වෙනව. මොකද බස් එකේ ඩ්‍ර්‍රැයිවරයට ඉස්සරහින් යන වාහන සේරම ඉස්සර කරන්න දොළදුකක් හැදිල.

මේ වෙලාවෙ හිතට හිතාගන්න අමාරු ඇති මොනව හිතනවද කියල.

කකුලටත් අතටත් මගේ මුළු ජීවිතේම බාරදීල තවමත් මම ඇදෙනව ඉදිරියට. ඒ අතර බලාපොරොත්තු ඇදෙනව මල්ලෙන් එළියට. දෙයියනේ අප්පච්චිගෙ බලාපොරොත්තු එළියට පනිනව නේද? ඒත් අම්මගෙ ඒව විසින් ඒව අල්ලගන්නව. පත්තර කන්තෝරුව ගාවින් යද්දි බලාපොරොත්තු පොරකනව එළියට පනින්න. ඒ මගේ ඒවා. ඒත් අනිත් ඒවා ඔක්කොම ඒකට එරෙහි වෙලා. සමහර බලාපොරොත්තු “ටෙක්නිකල්” එක ළඟින් බහින්න හැදුවට, ඒකට ඉඩ දෙන්නෙ නෑ පරම්පරාගත බලාපොරොත්තු. තවත් වගයක් අරගල කරන්න හැදුවට, ඒකට විරුද්ධයි රටේ බලාපොරොත්තු.

ඔන්න බස් එක නැවැත්තුවා. බහින්න දෙයක් තිබුණෙ නෑ, මං බස් එකේ ආවෙත් බැහැලනේ. එතනින් ඉක්මණට මාරු වුණා. සතුටක් ඇති වුණා. මල්ලෙ තිබුණු එක බලාපොරොත්තුවක්වත් බිමට නොදමා ගේන්න පුළුවන් වීම ගැන.

“තමුසෙ බස් එකට සල්ලි දුන්නෙ නෑ නේද”

මම උඩ ගිහිං බිම බැලූවේ හොඳ වෙලාවට වටපිට කවුරුත් නැහැ. එහෙම කියල තියෙන්නනෙ හිත. මා ගාව සල්ලි නැති විත්තිය මං දැන නොගත්තත් මගේ හිත දැන ගන්න එපායැ. මට හිත ගැන හිතුනෙ පුදුම තරහක්.

මෙහෙම හිත හිතා යනකොට දන්නෙම නැතුව ගේට්ටු කණු දකෙත් පහුවෙලා.

මම අලවපු පෝස්ටර් හිනාවෙනව මට. නෑ විරිත්තනවද කියලත් සැකයි. විරිත්තුවත් මට මොකද? මෝඩ පෝස්ටර් මං මං ගැන වගේම උන් උන් ගැනත් ලැජ්ජ වෙන්න ඕනැ. නිස්කාරනේ කාලෙ කෑව විතරයි. සම්භාව්‍ය පාවාදීම් වලට වේදිකා හැදීම තමයි අපි කරල තියෙන්නේ.

සමූහ ගොවිපළට එළුවො බාර දෙන්න ඉස්සරින්දා කීප දෙනකේ මරාගෙන කන එවුන් එක්ක මොන සමාජවාදෙ ද?

“ට්‍රිං ට්‍රිං‍රං වෙලාව අටයි තිහයි දැං දුවපල්ලා”

කට්ටියම ප්‍රශ්න පත්තර උඩ නැගල දුවනවා. මට හිනා. ඝනක යන්ත්‍රය නෙත් අයා හි`දියි, ඔබන තකේ එය. එහෙත් ගණන් සැදිය නොහැකි කල මොකට ඔබනවද ඒක. ෂිහ් ජීවිතේ මා ලද අරුමය කොයිදැන් ඒවා. මට පිස්සුද ඇත්තටම. නෑ මට පිස්සු හැදෙන්නෙ නෑ. ඒ තරම් මම නිරෝගියි.

“ලකුණක් වත් ගන්න ලියන්නෙ නැද්ද උඹ” හිත අහනව මගෙන්.

“මොනව ලියන්නද” මං කියනව හිතට. හිත අහනව මගෙන්.

“තමුසෙ බැඳලද” ඒත් ඒක මොකටද හිතට.

“නෑ නිකං කියනවකො ” හිත අවඥාවෙන් අහනව.

“මං බඳින්න ඉන්නව” මට කියවුණා.

“ඇත්තද එහෙනම් තමුසෙ බඳිනව වද දෙන්නෙ නැතුව”

මට හිත කියනව. හිත මොන හිතකින් මේව කියනවද කියල මට හිතාගන්න බෑ.

හිතට මොකද එක පාරටම බඳින්න හිතුනෙ. එකත් එකටම ඒකිට හිත වැටිල. ඒත් ඉතිං “පළමුව විභාගෙ දෙවනුව විවාහෙ”

ඊ ළඟට රස්සාවක්. මොකද කසාද බැඳල අවුරුද්ද දෙක යනකොට කටවල් පේළියක් එනවනෙ. කන්න දෙන්න වෙන්නෙ අත පය තමයි. දැං වගේ හොදියි, පානුයි වලින් ම දිවිගෙවන්න අමාරුයි තාත්ත කෙනකේ උනාම. අනික වදන වදන එකා හෙළිකුට්ටෙන් තියන්නයැ. උනුත් මෙතන උද්ඝෝෂණ උපවාස පවත්වයි. තාත්තගෙම පුත්තරයොනෙ.

“දැං ප්‍රශ්න පත්තර අමුණන්න කාලය අවසානයි” හිතද කිව්වෙ ?

“අපොයි නෑ ශාලාධිපතිතුමා” හිත මට පැහැදිලි කරල දුන්න. සෙස්සෝ කොළ අමුණද්දී මම අමුණනවා කොළ නොමැතිව නූල් කෑලි දකෙක්.

“දැන් ඉතිං ඇති ප්‍රශ්න පත්තරේ වත් ගැටගහපං” ආයෙත් හිත කෑගහනව.

මල්ල මට පේනව විභාග ශාලාවෙ කොනක හාන්සි වෙලා ඉන්නව. දෙයියෝ සාක්කි කෝ ඒකෙ දාගෙන ආපු බලාපොරොත්තු ටික. අන්න ඒවා ජනේලෙන් රිංගල දේශන ශාලා වලට ඇදෙනව. නොදකිං විතරක් ආයෙත් ඒව හොයාගෙන අවුරුද්දක් විතර ලෙක්චර් රූම් එකේ බඩගාන්න එපායැ.

රාළගේ කතා

“දඩාස් ”


ලොකු නෝනගේ කොහු මිටි පාරින් මම උඩ ගොස් අවදි උනෙමි. තව පාරක් කොස්ස මගේ හිසට එනු දුටු මම පැන දුවන්නට තැත් කළද මට වඩා කොස්ස වේගවත් විය.

“බැහ් බැහ් ”

මට කෑ ගැසුණි. කුස්සිය මැදින් ගොස් දොරෙන් එළියට පැන ගත්තද ගේ දිගටම මට හුලිජ්ජ ගොස් තිබුණි. ඒ ගැන මට මහා කණගාටුවක් ඇති වුණත් යටි සිතෙන් සතුටු වෙමි. මක් නිසාද කුස්සිය මැද එවැනි දෙයක් කිරීමෙන් ලොකු නෝනාට මහත් අපහසු තාවයක් ඇතිවන බැවිණි.

මම හෙමින් හෙමින් වීදි දිගේ ඇවිද ගියෙමි. තවමත් කොඳු නාරටිය කකියයි. වේල් දෙකකින් මොකවත් නොකෑව වග බඩ මතක් කර දෙන්නේ ගොර ගොර හඩිණි. මම තව දුරටත් ඇවිද යමි. වීදි දිගේ, කානු දිගේ, පිට්ටනි දිගේ, ඇවිද යන මම තාප්පයකට කකුල උස්සා කුස්සියේ දමා ඉතිරි වූ ටිකද පිට කළෙමි.

ඊයේ ලොකු නෝනගෙ මහත්තයයි ලොකු නෝනයි ඒ කියන්නෙ “ලොක්කයි” “ලොක්කියි” ආයෙත් ගෝරි වෙලා. එහෙම දෙයක් සිද්ද වුණාම ඒක මට මතක් කරල දෙන්නෙ කොස්ස. ලොකු නෝන ඒ කියන්නෙ “ලොක්කි” මට කොච්චර ආදරේද? මට වෙලාවකට කන්න බොන්න දෙන්නෙ තමුන්ගෙම දරුවකුට වගේ. මාව හැමදාම නාවනවා. එහෙම කරන්නෙ නම් මං ගාව ඉවසන්න බැරි තරමටම ගඳ ආපුවම.

මුළු පළාතෙම රවුමක් ගහපු මම ආපහු ගෙට ගොඩවුණේ කොස්ස තවමත් ලොක්කිගෙ අතේද නැත්නම් ගෙයි මුල්ලෙද කියල සෝදිසියෙන්. කොස්ස දොර මුල්ලෙ ඉඳන් විරිත්තනව.

“හැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණි”

“ලොක්ක” සර්පිනාව බදාගෙන. ඒ කියන්නෙ දෙන්න ආයෙත් යාළු වෙලා වගෙයි. අනේ මෙහෙමත් මිනිස්සු. දෙන්නගෙ සණ්ඩු බත ඉදෙනකං නෙවේ, සර්පිනාව ගහනකං විතරයි. ඒකට හේතුව දෙන්නගෙම ප්‍රධාන ආහාරය බත් නෙවේ. සංගීතෙ හන්ද. සමහර දවස් වලට ගෙදර උයන්න දෙයක් නැති වුණාම “ලොක්කි” කෑගහනව.

“ගෙදර හරියෙම උයන්න කියල දෙයක් නෑ තමුසෙ ඕක ගහ ගහ ඉන්නව”

“ඇයි මැණිකෙ කෑමට ස රි ග ම ප ධ නි ස තියෙන්නෙ”

එහෙම කියපු දවසෙ රෑ කෑම කූඩෙ උස්සපු ලොක්කට ඌරු ජුවල් ගිහිං.

“කෝ යකෝ කෑම”

“ඔය තියෙන්නෙ ස රි ග ම හොද්දක් හැදුව. ප ධ නි ස තෙල් දැම්ම. පොඩ්ඩක් ඉන්නව කෝමල ස්වර ටිකක් බැදල ගේනකං”

එදා ගෙදර යම යුද්ධයක්. ලොක්කි කනේ පාරක් කාල ඇඳේ වැටිල නිදා ගත්ත. ලොක්ක රෑ තිස්සෙ සර්පිනාවෙ “රීඩ්” කන්න හදනව බඩගින්නට.

භෛරවි රාගය

ඒකෙන් උද්දීපනය වෙන්නෙ ශෝක රසය කියල කියනව දවසක් මං අහගෙන. ලොක්කත් අද ශෝකෙන් හින්ද වෙන්න ඇති ඒක මේ වෙලාවෙ කියන්නෙ. ඒ වුණාට මට නං කංකරච්චලේ බෑ.

“ස නි ස නි නි ධ ප ම”

කොහොම නමුත් පහුවදා උදේම දෙන්න මෝටර් සයිකලේ නැගල තුරුළු වෙලා වැඩට ගියා.

අදත් ලොක්ක ඔබන්නෙ ශෝක ගීතයක්. මං ටිකක් සෝදිසියෙන් බැලූව. හරියට හරි ලොක්කගෙ සිංදුවේ තාලෙට වෙනද තබ්ලා ගහන ලොක්කි අද ඉකි ගහනව. ඒකෙත් රිද්මය තියෙනව කියල දවසක් ලොක්ක කීව.

ඔන්න ලොක්ක සර්පිනාව අත් හැරල කුස්සිය පැත්තට යනව. මගෙත් බඩගින්න අසූහාරදාහට නැගල. මමත් හෙමින් හෙමින් පසු ගමන් කළා. ඒත් කුස්සිය දොරෙන් ඇතුළට යන්න මට මොකක්දෝ වගේ. ඇයි දවල් වෙච්ච දේ මතක් වෙන කොට මට විලි ලැජ්ජාවෙ බෑ. ඒ හින්ද මම මැද සාලෙම නැවතුනා. පුංචි නිහැ`ඩියාවකින් පස්සෙ හට්ටි මුට්ටි පෙරළෙන හ~ක්් එක්කම මං උඩ ගිහින් බිම වැටුණා.

“මට කන්න උයල දෙන්න බැරි නම් මක බෑවියන්”

ලොක්ක ඒක ගායනා කළේ උච්ච ස්වරයෙන් උනත් වැඩේ ශ්‍රැතියෙන් පිටයි කියල මට හිතුණ. ශ්‍රැතියෙන් කෙසේ වෙතත් මං ගෙයින් පිටවෙන එක ඇ`ගට ගුණයි කියල හිතුනත් සැපේදි වගේම දුකේදිත් ලොක්කයි ලොක්කියි එක්ක ඉන්න එක මගේ යුතුකමක් හින්ද මං හෙලවුණේ නැහැ. කුස්සියෙ කලබගෑනිය අහවර කරල ලොක්ක එනව කොරිඩෝව දිගේ මැද සාලෙට. මගේ ගරු ගාම්භීර තාලෙ කිසිම ගානකට නොගත්ත ලොක්ක මටත් පයින් ඇනගෙන ගියේ මං තරංවත් කෙලෙහි ගුණයක් නොදන්න එකකු මෙනි. කොහොම වුණත් ලොක්කිගෙ කොසු පහරට වඩා ලොක්කගෙ පා පහර ටිකක් බරපතලයි කියල තේරුනේ ඉල ඇට කූඩුව රිදෙන්න ගත්තට පස්සෙ.

මගේ හිතට ආයෙත් කණගාටුව කියන එක කන්දු වෙන්න පටන් ගත්ත. ඒත් ඉතිං මං කොහොමද දුක හිතුණ කියල ෙභෙරවි රාගය ගහන්නෙ.

ඊ ළඟට සටනේ දෙවෙනි පියවර පටන් ගත්තෙ නිදන කාමරේ. ලොක්කගෙ අතයි ලොක්කිගෙ කම්මුලයි පෙම් කෙළින හ~ මට එළිපත්තට ඇහුනා.

“චටාස්”

ඊ ළගට දෙබස් පැහැදිළිව ඇහෙන්න පටන් ගත්ත.

ලොක්කි : ” තමුසෙත් එක්ක දීග ආවට වැඩිය හොඳයි බල්ලෙක් එක්ක දීග ගියානං”

චිකේ මට ලැජ්ජ හිතුණ, මිනිසුන්ටත් වැඩිය බල්ලො හොඳ වෙලා.

ලොක්කි : “ඉතිං පළයංකො මගෙ මොකෝ ”

මගේ ඇගේ මයිල් කෙලින් වුණා. බැරි වෙලා වත් ලොක්කි හා කිව්ව නම් එහෙම. ඒත් ඊට පස්සෙ බලූ කතා තියා මොන කතාවක් වත් ඇහුනෙ නෑ. ලොක්කි ඉකි ගහනව. මම හෙමීට කාමරේට රිංගුවා. ලොක්ක බුම්මගෙන ඉන්නව. ලොක්කිගෙ ක`දුළු හරියට ලේන් එකේ ටැප් එක ඇරිය වගෙයි.

“කුමටද සොබනියෙ කඳුළු සලන්නේ

හේතුව මම

හේතුව ඉතිං මං නොදන්නව යැ. දැං ඉතිං දෙන්න කොහොමින් හරි රැය එළි කරනව. මේක මේ ගෙදර සාමාන්‍ය සිදුවීමක්. අවුරුදු ගානක ඉදල කෑම ප්‍රශ්නයට, සල්ලි ප්‍රශ්නයට, ළමයි නැති ප්‍රශ්නයට ඔය වගේ මහා කන්දරාවක් ප්‍රශ්නවලට දෙන්නගෙ විසඳුම තමයි මේක. හැබැයි ගොඩක් වෙලාවට සර්පිනාව ගහන්න ගත්තම ආයෙත් යාළු වෙනව. ඒත් ඊයෙ පෙරේද ඉ`දල මේ අලකලංචිය ටිකක් සැරයි. ලොක්ක බොන එකෙත් ලොකු වෙනසක් තියෙනව.

දෙන්න බකමූණු ජෝඩුව වගේ දෙපැත්තට වෙලා බුම්මගෙන බලාගෙන ඉන්නව. හෙට උදේ තුරුළු වෙලා මෝටර්සයිකලේ යන හැටි ගැන සිහින මවමින් මං ඇහැ පියා ගත්ත.

මං අවදි උනේ උදේ පාන්දර මගේ ඔළුව උඩට බර යමක් වැටීමේ ප්‍රතිඵලයක් හැටියටයි. හොදට ඇස් ඇරල බලන කොට ලොකු සංගීත පොතක්. “විශ්ව සංගීත කලා” තව ඩිංගෙන් මං මළා. මොකක්ද මේ විජ්ජුම්බරය කියල ඇහැරිලා බලනකොට ලොක්කි යමරෙට වැඩ. පොත් පත්, ඇ`දුම් පැළ`දුම් ඔක්කොම අස් පරස් කරනව. ආයෙත් දෙන්න යාළු වෙලා වත්ද. ඒත් ලොක්ක පේන්න නැහැ.

මං පොඩ්ඩක් ඉස්සරහ පැත්තට සක්මන් කළා. බොලේ වෑන් කට්ටක් ඉස්සරහ නවත්වල. මොකක්ද මේ වින්නැහිය. ආයෙත් මං ඇතුළට දිව්ව. තබ්ලා කූට්ටම, පොත් පත්, සාරි, කුඩ, කැසට් එක ඔක්කොම ලොක්කිගෙ අතේ එල්ලිල පෙට්ටියකට බහිනව. මට හිතා ගන්නවත් බැහැ. අද නම් වැඩේ භයානකයි.

“තස් තස්”

සමහර පොත් පෙට්ටියට පනිනව. ඒත් මේ වෙලාවෙ ලොක්ක කොහේ ගිහිංද? එයත් මේ වගේම බඩු පටව ගෙන ගිහින්ද දන් නෑ. ඒත් එහෙම වෙන්න බෑ සර්පිනාව උඩු බැලියං අතට විරිත්තගෙන ටීපෝව උඩ ඔය යස අගේට ඉන්නෙ. ලොක්ක යනවනං ලොක්කි දාල ගියත් සර්පිනාව නං දාල යන් නෑ.

ලොක්කිගෙ අතේ එල්ලිලා බඩු පෙට්ටිය වෑන් එකට ගොඩ වුණා. තබ්ලා කූට්ටමේ ජිල් එක පෙට්ටි කටෙන් උඩට ඇවිත් මට ඔරවනවා. හරියට ගේ දාල යන්න වුණේ මං හින්ද වගේ. ඒත් ඉතිං බුම් එක යනවනං ජිල් එකත් යන්න එපායැ. ඊට පස්සෙ ලොක්කි පුටුවකට බර වෙලා මොනවදෝ කුරුටු ගානව. ඒක ඉවර කරල සර්පිනාව උඩින් ලියුම තියල ආපහු මුළු ගේ දිහාම විපරම් කරල බැලූව.

“වරෙන් යන්න මාත් එක්ක”

ඒ මොන කතාවක්ද මට මේ ගෙදර දාල යන්න හිතෙන්නෙ නෑ. ඒකනෙ කොහු පාරවල් පයිං පාරවල් කකා මේකෙම වැටිල ඉන්නෙ. ලොක්කි මාව අල්ලන්න ආවට මං කොට බිත්තියෙන් පැනල පාරට දිව්ව.

“එහෙනං උඹත් ඌත් එක්කම හිටපන්”

ලොක්කි වෑන් එකට නැග්ගා. වෑන් එකේ එන්ජිම කෑ ගස්සවල හෙමින් හෙමින් ඈතට යනව.

“ඩොකොස් ඩොකොස්”

වෑන් එකේ රිද්මයට තාලයක් එකතු කළේ පාරෙ වලවල්. මට ආයෙත් ගේ ඇතුළට යන්න හිතුන. මුළු ගේම පාළුවට ගිහිං. සර්පිනාව කට බලියාගෙන ඉන්නවා. ඒකෙ උඩ තියෙන ලියුං කෑල්ල “සට පට” ගාල හුළගට ගැහෙනව. ඒකෙ ලියල තියෙන එක භයානක ඇති. මට හාමත වැඩි කමටද කොහේදෝ නින්ද ගියා එතනම.

හැන්දෑවෙ ලොක්ක ආව හම්පඩ කලිසමයි, කමිසෙයි අස්සෙ රිංගල කසි කබල් මෝටර්සයිකලේ උඩ නැගල. සුපුරුදු සිංදුව කටෙන් එළියට පැන්න.

“හැන්දෑ කළුවර ගලා හැලෙන විට

සෙනෙහස දැල්වුණ නිවස සොයා එමි”

සෙනෙහස තියා අද ගෙයි ලාම්පුවක්වත් නැති බව උන්දෑ දැන ගත්තෙ සර්පිනාවෙ “දත් කූට්ටම” උඩ තිබුණු ලියුං කෑල්ලෙන්. ලියුම බලපු ලොක්ක පස්ස කැඩිච්ච කඩිය වගේ එහාට මෙහාට කැරකුනා. ඉස්තෝප්පුවෙ ඉන්න මට ඇහෙනව කුස්සියෙ ටැප් එක ජෝගුවකට වමනෙ කරන සද්දෙ. ඊට පස්සෙ “ගුඩුස් ගුඩුස්” ලොක්ක දුකට ද කොහෙද වතුර පුරවනව බඩට. ලොක්ක හෙමීට ඉස්සරහ සැටියෙ වාඩි වුණා. ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ වෙලා. සර්පිනාව දිහා අනිමිස ලෝචනයේ යෙදුන ලොක්කගෙ ඇස් දෙකෙන කඳුළු එන්න පටන් ගත්ත. ලොක්කගෙ ඇස් දෙකෙන් කඳුළු එනව කියල මං දැක්කෙ හා පුරා කියල අදයි.

ඒ වගේම ලොක්කි මේ වගේ ගමනක් ගියෙත් කුලූ`දුලේමයි. මේ වෙලාවෙ නම් මට ලොක්ක ගැන දුකත් හිතුණා. ඒත් මේ යකා ලොක්කිට දෙන වද ගැන හිතුවම මේ දේ බරපතල මදි. ගෙයි දොර වහල ලොක්ක දඬුමොණරෙ නැගල ඇරල දාල ගියා. මට නම් දැන් ටිකක් බයත් හිතෙනව. මේ යකා මොනවත් කරගනීද. නෑ එහෙම දෙයක් කරගන්න වත් ලොක්කට ආත්ම ශක්තියක් තියෙයි කියල මං හිතන් නෑ. ආයෙත් මං නිදි.

මට ඇහැරුණේ දොරේ යතුර කැරකෙන හ`ඩින් ලොක්ක ගෙදර ඇවිත්. තනියට තවත් කෙනෙක් ඉන්නව වගේ. හරියට පේන්නෙ නැහැ. කළුවර හින්ද. “මිත්‍රය” ඉන්නෙ ලොක්කගෙ කිහිල්ලෙ. ලොක්ක දොර ඇරගෙන කොරිඩෝවෙ බිත්ති වල ඇතිල්ලි ඇතිල්ලි සාලෙට ගිහිං සැටිය උඩ වැටුණෙ සාමාන්‍ය වේගයට වඩා දස ගුණේක වේගයෙන්.

කිහිල්ලෙ හිටිය මිත්‍රයාට නවාතැන් දුන්නෙ ටීපෝව උඩ. එයා ලොක්ක එක්ක බොහොම හිතවත්. මිත්‍රයගෙ ඇෙඟ් හිටපු පොල් ගහ යට හිටපු කොටිය මා දිහා ඔරවල බලනව. කෝකටත් මං ටිකක් ඈතට වෙලා බලාගෙන හිටිය. අදත් ඉතිං මට කනක් ඇහිල නිදාගන්න ලැඛෙන එකක් නැහැ. සර්පිනාවෙ රීඩ් ඔබන්න ගත්තම කීයට නවත්වයිද මන්ද. ටික වේලාවකින් ලොක්ක මිත්‍රයත් එක්ක හාදකම් පවත්වලා ඔහේ බලාගත්ත අතේ බලාගෙන ඉන්න පටන් ගත්ත.

ලොක්කගෙ අඳුරු මූණ දිගේ කදුළු බේරෙන්න පටන් ගත්ත. ලයිට් එළියට ඒව දිළිහෙනව. මෙච්චර කල් ලොක්කි හළපු ක`දුළු වෙනුවට ලොක්ක අද එක පාරටම වන්දි ගෙවන්න හදනවද මන්ද. මට බලාගෙන ඉන්න බැරි තැන මං එළියට ගියා. ලොක්ක හොටු ඉහළට අදින හ~ මට එළියට ඇහෙනව. ටිකෙන් ටික ඒක වෙනස් වුණෙ ඉකිබිඳුමකට.

දැන් ලොක්ක පොඩි එකෙක් වගේ අඬනවා. මට ඒ ගැන දුක හිතුනත් ආයෙත් මං සතුටු වුණේ සර්පිනාවෙ රීඩ් වලට තඩි බාන්නෙ නැති එක ගැනයි. ඊට පස්සෙ වැදගත් දේකට කියල සිද්ධවුණේ ලොක්ක ගෙනාපු කෑම එකෙන් බාගයක් මට ලැබුණ එක විතරයි.

ආයෙත් මගේ නින්ද.

“පීප් පීප්”

මං උඩ ගොස් බිම වැටුණෙ “උඩ පැන්නොත් බිම වැටෙයි” යන න්‍යාය හින්ද වෙන්න ඇති. හොඳටම එළිය වැටිල. දවස් ගානකට පස්සෙ බත් බාගයක් බඩට ගිය හින්ද නින්ද මාත් එක්ක හාදවෙලා නැත්තං පස්ස පැත්තට අව්ව වැටෙනකං නිදියන එක මගේ සිරිතක් නෙවේ.

කොහොම උනත් කව්ද උදේම හෝන් ගහන එකා කියල බලන්න මං ඉස්සරහට දිව්ව. දෙයියෝ සාක්කි ලොක්කි ඇවිත්. ඉතිරි බඩු ටිකත් පටව ගෙන යන්නද කොහෙද ඇවිත් තියෙන්නෙ. මොනව නැතත් සර්පිනාව අරං යනවනං ඒකට මං කැමතියි. නැත්තං මට නිදහසේ නිදාගන්න වත් නැහැ.

ලොක්කි වෑන් එකෙන් බැහැල ගේ දිහා බලාගෙන අනිමිස ලෝචනයේ යෙදෙනව. ඩ්‍රැයිවර් ඇවිත් වෑන් එකේ පිටිපස්සෙ දොර ඇරිය. මං බැලූව මොනවද තියෙන්නෙ කියල. අන්න බොලේ ලොකු පෙට්ටිය උඩම තබ්ලා කූට්ටම කට බළියගෙන ඉන්නව. ජිල් එකයි බුම් එකයි සරදමට වගේ හිනා වෙනව. ඒ දෙක එක ළඟ ඉන්නකොට කෙච්චර ලස්සනද.

ඔන්න ලොක්කිගෙ අතේ එල්ලිල පෙට්ටිය ගෙට ගොඩ වුණා. ඒ කියන්නෙ ලොක්කි ආයෙත් ගෙදර එනව කියන එකද? ඒත් විලිසංගෙ තියනවනං එහෙම කරාවියැ. මං කෝකටත් ගේ ඇතුළට ගියා. ලොක්කි මා දිහා බැලූවෙ හොරැහිං. ලොක්ක ඊයෙ රෑ හිටපු හැටියටම සැටිය උඩ ඉන්නව. ආදාහනය කරපු සිගරට් කොට වටේ රැස් වෙලා ලොක්කට තනි රකිනව.

ලොක්කි දොරකඩ ඉඳන් ලොක්ක දිහා බලාගෙන හිටිය. පෙට්ටිය බිමින් තියද්දි ජිල් එකයි බුම් එකයි හිනාවුණ සද්දෙට ලොක්ක ඇස් ඇරිය. දැන් වැඩේ ඇවිලෙයි කියල මගේ හිත වෙව්ලනව. මං කෝකටත් දෙන්නගෙ මැදට ගියා. මොන ඇවිලිල්ලක් ද ලොක්කි ඇවිත් ලොක්කගෙ සැටියෙ වාඩි වුණා.

නිහඬතාවය කඩා බි`ද දැම්මෙ ලොක්ක.

“කොහෙද ගියෙ ඔයා”

ලොක්කිට ඉස්සර වෙලා උත්තර දුන්නෙ කඳුළු

“සට සට”

කඳුළුත් දුන්නෙ මාර උත්තරයක්. ඒක මට තේරුණේ නෑ. ඊට පස්සෙ ලොක්කි :

“මං ආයෙත් නම් යන්නෙ නෑ”

ඊට පස්සෙ ලොක්කයි ලොක්කියි විනාඩි ගාණක් මූණෙන් මූණ බලාගෙන හිටියා. මට ආයෙත් හුලිජ්ජ බරක් හැදිල මං ඉක්මනින් ඉස්සරහට දුවල ගිහිල්ල පැපොල් ගහට ඇල්ලූවා.

“චොර චොර”

ආපහු ගෙට ඇතුළු වුණා. එහෙම එන මට මෙහෙම ඇහෙනව.

ලොක්කි: භවෙන් භවේ අප ආ ගමනකි මෙය

කිඳුරු කුමරුනේ මා ඔබගේමය.

සඳකිඳුරනි අම පෙම් ගීතිකා

ගයමින ඔබ සනසම්.

සිංදුව හදල තියෙන්නෙ භාගේඝ රාගයෙන්. ඒ සිංදුව වෙනද ලොක්කි ඉගැන්නුවේ ගෙදර සංගීත පන්තියට. ඒකෙන් මැවෙන්නෙ සෘංගාර රසයලූ. ඒ හිංදා මම කෝකටත් කියල ලොක්කයි ලොක්කියි නොපෙනෙන තැනකට ගිහිං වකුටු වෙලා නිදා ගත්ත. “ටොමී ටොමී ඇවිත් බත් කාපං ” කියල ලොක්කි මට කතා කරනකං.

ආයෙත් මගේ නින්ද.

 රාළගේ කතා