පංච නින්දාව
03:49 | Author: දුෂාන්
බෝගල පතලෙන් දොට්ට දැම්ම උක්කු බණ්ඩා ගමට ආවෙ තමා අත ඉතුරු වෙච්ච එකම සම්පත වූ බිරින්දෑවයි දරුවො දෙන්නයි කැටුව. පතලෙන් දොට්ට දැම්මෙ උන්දැගෙ තිබුණු වයසට ඔබින්නැති දරදඬු පොරොතිපත්ති නිසාමයි. එහෙත් ඒ පොරොතිපත්ති ක්‍රියාවට නැගුනේ බොහෝවිට හාස්‍ය ජනක ලෙසයි. මේ ක්‍රියා පටිපාටි නිසා උන්දැට හිමිවූ එකම දේ නාම විශේෂණයක් විතරයි. කොමිනිස් උක්කු බණ්ඩා ලෙස උන්දැ ප්‍රකට වූයේ එහෙමයි.


ගමට ඇවිදින් උන්දැ නෙමේ නිකං හිටියෙ. කොයිවෙලෙත් කටපත්තෑව දෙඩෙව්වා. ආණ්ඩුව පෙරළන්න. පතලෙ වෘත්තීය සමිතියෙන් ඉගෙන ගත්තු වචන කන්දරාව ගම පුරා තවන් කරන එක තමා උන්දැගෙ ප්‍රධාන කාරිය වුණේ. මළගෙවල් වල කතා පවත්වන්න උන්දැ දැක්වූයේ පුදුමාකාර රුචියක්. කොයිතරම් ශෝකජනක මළ ගෙදරක දී වුණත් ගම්මු හිනාවුණේ මුන්දැගේ කතාව අහලා.

පසුගිය ඡන්දෙට කොල්ලො කුරුට්ටො මුන්දැව පොඩි සිංඤාමරං ගාලෙ ඇද බාල ආණ්ඩු පක්සෙ පාටින් දිය කරපු වතුර නෑව්වෙ මේ කන්දොස් කිරියාව ඉවසන්න බැරි නිසා. ඒ විහිළුව උන්දැගෙ වයසට නං රිසි නැති බව හැබෑය. ඒත් එදයින් එදා ඉඳල කොමිනිස් උක්කු බණ්ඩා නෙමෙයි මළගෙවල් වල කතා පැවැත්වූයේ.

උන්දැගෙ බොහොම හිතවතෙක් තමයි ලබු ලොක්කා. ලබු ලොක්කා ළැදි වුණේ ආණ්ඩු පක‍ෂයට වුණාට දෙන්නගෙම කුඹුරුකෑලි දෙක තිබුනෙ හා වෙලා. ඒ හින්ද දෙන්න උඩිං මනාපයි. ලියදි දෙකේ දෙන්න වැඩ කරන කොට යායට ම කන්දොස් කිරියාවෙ බෑ. ලියද්දට බැස්ස වෙලේ පටන් උන්දැ පටන් ගන්නව පුරාජේරුව. කොමිනිස් උක්කු බණ්ඩෙ ගිරව් එලවන්න කුඹුර වටේ හිටෙව්වෙත් රතුපාට කොඩි වැල්.

ගමේ හිටිය කොලූ නඩෙන් බණ්ඩෙට ටිකක්වත් ළැදි වුණේ ජයවීර කොලූවා. ඒක එහෙම උනත් ඌ වැඩි ලෙන්ගතුකම් පාන්න ගියේ නෑ. ඒ වුණාට බොහොම රහසිගතව උන්දැගෙන් ප්‍රයෝජන ගත්ත. ජයවීර කොලූව ටිකක් නාහෙට නාහන එකා වුණාට වැරැද්ද පේන්න බෑ. පහුගිය කාලෙ ඒකා අන්තරස්දාන වෙලා ඉඳලා මතුවුණේ රැඳවුම් කඳවුරෙං. මුළු ගමෙන්ම ඌ ගැන වැඩියෙන්ම සෝක වුණේ කොමිනිස් උක්කු බණ්ඩා විතරයි.
ජයවීරයා ගිනිකඳයා අතට ගත් වග ආරංචි වුණහම උන්දැ ඒකට ආඩපලි දෙස් දෙවොල් තිබ්බා. ඒ කාලෙ ගමේ කිප දෙනෙක් වෙඩි කාල මිය ඇදුනට පත්තුවුණේ ජයවීරගෙම ගිනිකඳය ද කියල කාටවත් තේරුංගන්න බැරිවුණා. දැං ඒවා ගැන හාංකවිසියක් වත් නොදන්නා ගානට ගම්මු ජීවත් වෙන්න පටං අරං.

ඉඩෝරය තුරං වෙලා වැහිපොද එක දෙක පොළොවට ළං වෙනව. ඔන්න දවසක් එකම නියර දිගේ දුවගෙන ආපු ලබු ලොක්කයි, කොමිනිස් උක්කු බණ්ඩෙයි ඉද්ද ගැහුව වගේ නැවතුනා.

ලබු ලොක්ක හිමින් සීරුවේ දකුණු ලියද්දට රීටුවා. කොමිනිස් උක්කු බණ්ඩා “ජබොහ්” ගාල වම් ලියද්දට පැන්නා. පැන්න පාරට ඇඟ පුරාම මඩ. දෙන්නම අත් දෙකේ කෙල අහුර අහුර ගාගෙන උදලූ ඉස්සුවා. වේගයෙන් උදලූ පාරවල් දෙක තුනක් පතබෑව කොමිනිස් උක්කු බංඩා නැවතී හති අරින්නට පටන්ගත්තා. ලබු ලොක්කා හිමින් සීරුවේ කොටන ගමන් උන්දැ දිහා බැලූවෙ යටහිං.
“මොකද?”
කවදත් ප්‍රශ්නයක් ඇසූවිට ප්‍රශ්නයකින්ම උත්තර දෙන කොමිනිස් උක්කු බණ්ඩේ අසයි.
“ආපු වැඩේ නොකර ඔය විදියට බකන්නිලං ඉඳල හරියනවද”
“මට මේක අල්ලන්නෙ නෑ”
“අර මොකදෑ”
කොමිනිස් උක්කු බණ්ඩා උත්තරේට පෙර හරි බරි ගැසී නියරේ ඈඳි ගනී.
“මේ වැඩේ කිසි තේරුමක් නෑ හැමදාම කඹුරන්න තමයි වෙන්නෙ”
“ඉතිං ඒක හිතන්න තිබුණෙ කුඹුරට බහින්න කලියෙන්නෙ”
ලබු ලොක්කගෙ ඒ ප්‍රශ්නෙන් නම් කොමිනිස් උක්කු බණ්ඩෙට ගැලවී යා නොහැකි විය.
අපි නැහෙනව වෙන කව්රු හරි සැනැහෙනව. මේකෙන් වෙන්නෙ පංති පරතරය තවත් වැඩි වෙනවා. මේකෙන් ගැලවෙන්න නම් මුළු රටේම ජනතාව කුඹුරට බස්ස වන්න ඕන.
“තපස්” ගාල උදලූ පාරක් ගහමින් ආයෙත් ලබු ලොක්කා වැඩ පටං ගත්තෙ හරියට “අනේ මගෙන් කුණුහබ්බ නාහ ඉඳිං” කියන්නා වාගේය.
“රට හදන්න ඉස්සර අපි හැදෙමු”
ලබු ලොක්කගෙ ඒ කියමනට කොමිනිස් උක්කු බණ්ඩෙට කේන්ති ගියා.
“ඕකනෙ උඹලගෙ තියෙන වැරැද්ද. මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕන”
“උඹට ඕනනං දැනුවත් කරහං. හැබැයි අර ළමයි ටික බඩගින්නෙ නොතිය.”
නොදැනුවත්වම උනත් ලබු ලොක්කා කියාගෙන ගියා.
“ජයවීර කොලූව වත් හිටිය නං”
රැවුලේ රැ`දුනු පුවක් කෑලි අහකට පිස දමමින් කොමිනිස් උක්කු බණ්ඩේ කියයි. ඒ පාරනං කේන්ති ගියේ ලබු ලොක්කටයි.
“ඕක නොහිටිය එකමයි හොඳ”
ඌ ගමේ හිටිය කාලෙ ලබු ලොක්කට කළ අඩන් තේට්ටම් ගැන මතක් වෙද්දි උන්දැට කේන්ති එන එක ගැන අහන්න දෙයක නෙවේ. උක්කු බණ්ඩේ ඒවාට උල්පන්දම් දුන්න එකද රහසක් නෙමේ. ජයවීරයා පොලිසි ගෙනිච්චේද ලබු ලොක්කගේ ඔත්තුවකට බව උක්කු බණ්ඩා නොදන්නවා උනාට ජයවීරයා හොඳින් දනී. ඒ බව ජයවීරයා දන්නා බව ලබු ලොක්කා දන්න නිසා ඇෙඟ් හිරිගඩු පිපෙයි. මේ ගැන සිතමින් සිටිය ලබු ලොක්කා වැඩ නවත්වා බලනවිට කොමිනිස් උක්කු බණ්ඩා අන්තරස්දාන වෙලාය.
“මේ ගොබිල කොහේ පතබෑවුණාදැ”
ලබු ලොක්කා ටිකක් කල්පනාවෙන් වටපිට බැලූවේ ඉතිහාසය දන්නා නිසාය. බණ්ඩේ කුකුල් කේන්තිකාරයා නිසා ලබු ලොක්කා විමසිලිමත් වුණා. බණ්ඩේ එනවා පොරවක් කර තියාගෙන.
“ඒ පාර උඹ මොන තොයිලෙකටද ලෑස්ති වෙන්නෙ”
“මගේ කුඹුරෙ අස්වැන්න අඩුයි. මේ කුඹුක් ගහේ කොළ වැටිල බීජ කුණුවෙනව”
යලට මහට අවුරුදු ගාණක් වැඩ කරපු මේ කුඹුරෙ මීට ඉස්සර මෙහෙම දෝෂයක් නොදැක්ක එකා අද මොකද මේ කියලහිතුන. ලබු ලොක්කට ගහ දන්නා මිනිහට කොළ ගැන කියන්න එනවද කියලත් නොහිතුනා නෙවෙයි. උන්දැ නියරට ගොඩ වෙලා බලාන උන්නා.
බණ්ඩෙ නගිනවා කුඹුක් ගහ දිගේ. මේකා පොරවක් අරගෙන රුසියා වගේ නැග්ග හැටි. හරිම අපූරුයි. ලබු ලොක්කා ආයෙත් හිමීට වැඩ පටං ගත්තා.
දෙන්නා දෙපැත්තේ වැඩ.
“මේ කෙරෙමෙ වෙනසක් දකින්න ඕන”
හිටපු ගමං ගහ උඩින් ඇහෙනව.
“තපස්” දකුණු ලියැද්දෙ මඩට උදැල්ල වදිනව
“අපි තැලෙන්න තැලෙන්න පන්නරය වැඩි වෙනව”
පතලෙන් අහුලගත්තු ඒවා ගහ උඩ ඉ`දං වමාරනව.
“තපස්” දකුණු ලියද්දෙන් ඇහෙනව. ඒ් එක්කම ලබු ලොක්කාගෙ කටහ~ අවදි වෙනව.
“උඹ ඕව හාවක් හූවක් නැතුව කපන්නෙ ගිරහම සේවකගෙන් අවසර අරන් එහෙමද?”
“මං ගත්ත අවසරයක් නෑ”
“ඇයි ?”
“මට කොන්දක් තියෙනවා. අවසර ගැනීම කොන්දට හරි නෑ”
“තපස්” දකුණු ලියද්දෙ උදැල්ල කහිනව.
” දිග්” ” දිග්” ගහ උඩ මහ අත්ත පොරෝ පාර ඉවසන්න බැරිව කෑ ගහනව.
කුඹුර කෙටුවට ලබු ලොක්කගෙ හිත ගහ මුල. ඒකට හේතුව කොමිනිස් උක්කු බණ්ඩා කඳුබාන ගහ තමාටද උරුම එකක් බැවිනි.
“එතකොට උඹ ඕක තනි පංගලමෙ භුක්ති විදින්න හදන එක නොසන්ඩාල කමක් නෙවේද?”
“ඒක එහෙම උනාට කමක් නෑ”
ලබු ලොක්කට අසූහාරදාහට නැග්ගා.
“ඒ කියන්නෙ හොරකමයි කොන්දයි අතරෙ සම්බන්ධයක් නෑ කියන එකනෙ”
“අපොයි මොකද සම්බන්ධයක් නැත්තෙ. හොරකං කරන්න නං හොඳ කොන්දක් තියෙන්න ඕන. ඒවගේම කොන්දක් තියාගෙන ජීවත් වෙන්න නං හොරකං කරන්නත් ඕන.”
“තපස්” දකුණු ලියද්දෙ උදැල්ල වදිනව.
” දිග්” ” දිග් ” ලොකු අත්ත කෑ ගහනව.
“තපස්” දකුණු ලියද්දෙ උදැල්ල වදිනව.
“තපාස්” වම් ලියද්දට අත්තක් කඩාගෙන වැටෙනවා.
“අම්මෝ” අත්ත උඩට කොමිනිස්උක්කු බණ්ඩා වැටෙනවා.
“ඩොක්” පොරොව උන්දැගෙ ඔළුව උඩට වැටෙනව.
ලබු ලොක්කා තුෂ්නිම්භූත වෙලා පරීක‍ෂා කරනවා. ඊට පස්සෙ බිම පරීක‍ෂණය කරනව. අවසානයේ උන්දැ නිගමනයකට එළඹෙනවා.
“කොමිනිස් උක්කු බණ්ඩා කපා ඇත්තේ තමන් වාරුදී සිටි අත්තමයි.”



දුකා ගේ කතා
කවුරු කොහොම මොනව කීවත් මිනිස්සු කරන සමහර වැඩ දිහා බලන් ඉන්න මිනිස්සු විදිහට අපිට බෑ.ඒත් ගොඩක් අය කරන්නෙ මොන දේ උනත් අහක බලාගන්න එකනෙ.කෙනෙක් වැඩක් කරද්දි උදවු නොකර අහක බලාගන්න එක වැරදී.ඒත් අන්තිමේදි ඒ දේ මටත් කරන්න සිද්ධ උනා.


ඇත්තම කියනවනම් මේක රැකියාවක්. හැබැයි ඒ කරන වැඩේ දිහා බලන් ඉන්න එක තමා අමාරු.ඒ මොකක් වෙන්න ඇද්ද කියල කියන්න පුලුවන්ද ?