පාන්දරින් නැගිට්ට මම බිත්තියේ එල්ලිලා ඉන්න මල්ලට කතා කළා.

“ම්හ්”

ඌ තාම නිදි මල්ල අතට අරං සටස් පටස් ගාලා ගස්සා දැම්මා.

“මොන රදේදක්ද”කියල මල්ල ඇහැරුණා.

ඈනුමක් ඇරිය මල්ල ආයෙත් නිදාගන්න මගේ කරේ එල්ලූනා. මං මේසෙ උඩ තියපු බලාපොරොත්තු ටික එකතු කරල මල්ලට පුරව ගත්ත. ඊට උඩින් අනුන්ගෙන් ඉල්ලගත්ත ඝනක යන්තරේ තිබ්බ.

“ජීවිතේම සැහැල්ලූවෙන් හිතපු තමුසෙ මොකද අද බරට හිතන්නෙ” හිත අහනව මගෙන්.

සුබදායක ගමනක් යන්න හදනකොට ඔය වගේ කතා කියන්න හිතට හිතක් පපුවක් නැද්ද මන්ද? මට ඉබේටම කියවුණා. එතකොට හිත කීරි ගැහුණා. හිතට ඒ ගැන දුක හිතෙන්න ඇති.

“අද අවසාන අවුරුද්දෙ විභාගෙනෙ”

බස් එකට නගින්න බස් හෝල්ට් එකේ ඉන්න ගමන් මං මල්ලට කිව්ව. මල්ල හක හක ගාලා හිනාවෙලා කියනව,

“බොහොම සන්තෝසයි” කියල

කාලෙකින් මල්ල වුණත් මං ගැන සන්තෝස වුණ එක ගැන මං සන්තෝස වුණා.

“ඇයි තමුසෙ සන්තෝස වෙන්නෙ” ඒ මම මල්ලෙන්.

මල්ල මටත “අවුරුදු හතරක් තිස්සෙ කදුළු ගෑස් එක්ක බැටන් පොලූ පාරවල් කාලා දැන් මට එපාවෙලා. හෙට අනිද්ද මාව සදහටම බිත්තියේ එල්ලල අලූත් මල්ලක් ගනීනෙ. රස්සාවක් එහෙම ලැබුණාම, මොකද තමුසෙ හොඳ උගතනෙ”

මට මල්ල ගැන ලැජ්ජ හිතුණ. මේ වගේ මල්ලක්නෙ මං අවුරුදු හතරක් තිස්සෙ කරේ එල්ලගෙන හිටියෙ කියල.

“බරාස්” ගාලා ප්‍රයිවෙට් බස් එකක් කණ උඩ නැවැත්තුවා.

හිත වෙවුලල ගියා කියල හිත කියනව. සයිඩ් කන්නාඩිය සාක්කුවේ දාගෙන මම බස් එකට එක කකුලක් තියාගෙන එල්ලූනා.

බස් එක ඉස්සරහට ඇදෙනව. මමත් තව කිහිපදෙනකුත් යන්නෙ පදික වේදිකාව උඩින්. සමහර වෙලාවට ගෙවල් වල මිදුල් වල උඩින්, කඩ බක්කි ගාවින්. මමයි බස් එකයි අතරින් ලයිට් කණු පහුවෙයි කියල මට වෙලාවකට බයත් හිතෙනව.

“බය වෙන්න එපා”

මම පස්ස හැරිල බැලූව කවුද කියල, දත් තිස්දකෙම මගේ මූණගාව. මිනිහ ටයි පටියකුත් ගහගෙන. මාත් එක්ක ෆුට් බෝඩ් එකේ.

“බය වෙන්න එපා ? තමුසෙ හරියට රක්ෂණ නියෝජිතයකේ වගේනෙ”



මගේ හිත බනිනව අර මිනිහට. හිතක් ගැන හිතා ගන්න බැරුව මිනිහ හිනාවෙනව.

“වැටුණත් ඉතිං පොළොවෙං එහාට වැටෙන්නෙ නෑනෙ”

අනේ උගේ මෝඩ කතා. බස් එකෙන් බිමට වැටුණොත් පොළොවෙන් නවතින්නෙ නෑ. එම්බාම් කරල පොළොවෙනුත් අඩි ගානක් පස් යට ගහන්න වෙනව. මොකද බස් එකේ ඩ්‍ර්‍රැයිවරයට ඉස්සරහින් යන වාහන සේරම ඉස්සර කරන්න දොළදුකක් හැදිල.

මේ වෙලාවෙ හිතට හිතාගන්න අමාරු ඇති මොනව හිතනවද කියල.

කකුලටත් අතටත් මගේ මුළු ජීවිතේම බාරදීල තවමත් මම ඇදෙනව ඉදිරියට. ඒ අතර බලාපොරොත්තු ඇදෙනව මල්ලෙන් එළියට. දෙයියනේ අප්පච්චිගෙ බලාපොරොත්තු එළියට පනිනව නේද? ඒත් අම්මගෙ ඒව විසින් ඒව අල්ලගන්නව. පත්තර කන්තෝරුව ගාවින් යද්දි බලාපොරොත්තු පොරකනව එළියට පනින්න. ඒ මගේ ඒවා. ඒත් අනිත් ඒවා ඔක්කොම ඒකට එරෙහි වෙලා. සමහර බලාපොරොත්තු “ටෙක්නිකල්” එක ළඟින් බහින්න හැදුවට, ඒකට ඉඩ දෙන්නෙ නෑ පරම්පරාගත බලාපොරොත්තු. තවත් වගයක් අරගල කරන්න හැදුවට, ඒකට විරුද්ධයි රටේ බලාපොරොත්තු.

ඔන්න බස් එක නැවැත්තුවා. බහින්න දෙයක් තිබුණෙ නෑ, මං බස් එකේ ආවෙත් බැහැලනේ. එතනින් ඉක්මණට මාරු වුණා. සතුටක් ඇති වුණා. මල්ලෙ තිබුණු එක බලාපොරොත්තුවක්වත් බිමට නොදමා ගේන්න පුළුවන් වීම ගැන.

“තමුසෙ බස් එකට සල්ලි දුන්නෙ නෑ නේද”

මම උඩ ගිහිං බිම බැලූවේ හොඳ වෙලාවට වටපිට කවුරුත් නැහැ. එහෙම කියල තියෙන්නනෙ හිත. මා ගාව සල්ලි නැති විත්තිය මං දැන නොගත්තත් මගේ හිත දැන ගන්න එපායැ. මට හිත ගැන හිතුනෙ පුදුම තරහක්.

මෙහෙම හිත හිතා යනකොට දන්නෙම නැතුව ගේට්ටු කණු දකෙත් පහුවෙලා.

මම අලවපු පෝස්ටර් හිනාවෙනව මට. නෑ විරිත්තනවද කියලත් සැකයි. විරිත්තුවත් මට මොකද? මෝඩ පෝස්ටර් මං මං ගැන වගේම උන් උන් ගැනත් ලැජ්ජ වෙන්න ඕනැ. නිස්කාරනේ කාලෙ කෑව විතරයි. සම්භාව්‍ය පාවාදීම් වලට වේදිකා හැදීම තමයි අපි කරල තියෙන්නේ.

සමූහ ගොවිපළට එළුවො බාර දෙන්න ඉස්සරින්දා කීප දෙනකේ මරාගෙන කන එවුන් එක්ක මොන සමාජවාදෙ ද?

“ට්‍රිං ට්‍රිං‍රං වෙලාව අටයි තිහයි දැං දුවපල්ලා”

කට්ටියම ප්‍රශ්න පත්තර උඩ නැගල දුවනවා. මට හිනා. ඝනක යන්ත්‍රය නෙත් අයා හි`දියි, ඔබන තකේ එය. එහෙත් ගණන් සැදිය නොහැකි කල මොකට ඔබනවද ඒක. ෂිහ් ජීවිතේ මා ලද අරුමය කොයිදැන් ඒවා. මට පිස්සුද ඇත්තටම. නෑ මට පිස්සු හැදෙන්නෙ නෑ. ඒ තරම් මම නිරෝගියි.

“ලකුණක් වත් ගන්න ලියන්නෙ නැද්ද උඹ” හිත අහනව මගෙන්.

“මොනව ලියන්නද” මං කියනව හිතට. හිත අහනව මගෙන්.

“තමුසෙ බැඳලද” ඒත් ඒක මොකටද හිතට.

“නෑ නිකං කියනවකො ” හිත අවඥාවෙන් අහනව.

“මං බඳින්න ඉන්නව” මට කියවුණා.

“ඇත්තද එහෙනම් තමුසෙ බඳිනව වද දෙන්නෙ නැතුව”

මට හිත කියනව. හිත මොන හිතකින් මේව කියනවද කියල මට හිතාගන්න බෑ.

හිතට මොකද එක පාරටම බඳින්න හිතුනෙ. එකත් එකටම ඒකිට හිත වැටිල. ඒත් ඉතිං “පළමුව විභාගෙ දෙවනුව විවාහෙ”

ඊ ළඟට රස්සාවක්. මොකද කසාද බැඳල අවුරුද්ද දෙක යනකොට කටවල් පේළියක් එනවනෙ. කන්න දෙන්න වෙන්නෙ අත පය තමයි. දැං වගේ හොදියි, පානුයි වලින් ම දිවිගෙවන්න අමාරුයි තාත්ත කෙනකේ උනාම. අනික වදන වදන එකා හෙළිකුට්ටෙන් තියන්නයැ. උනුත් මෙතන උද්ඝෝෂණ උපවාස පවත්වයි. තාත්තගෙම පුත්තරයොනෙ.

“දැං ප්‍රශ්න පත්තර අමුණන්න කාලය අවසානයි” හිතද කිව්වෙ ?

“අපොයි නෑ ශාලාධිපතිතුමා” හිත මට පැහැදිලි කරල දුන්න. සෙස්සෝ කොළ අමුණද්දී මම අමුණනවා කොළ නොමැතිව නූල් කෑලි දකෙක්.

“දැන් ඉතිං ඇති ප්‍රශ්න පත්තරේ වත් ගැටගහපං” ආයෙත් හිත කෑගහනව.

මල්ල මට පේනව විභාග ශාලාවෙ කොනක හාන්සි වෙලා ඉන්නව. දෙයියෝ සාක්කි කෝ ඒකෙ දාගෙන ආපු බලාපොරොත්තු ටික. අන්න ඒවා ජනේලෙන් රිංගල දේශන ශාලා වලට ඇදෙනව. නොදකිං විතරක් ආයෙත් ඒව හොයාගෙන අවුරුද්දක් විතර ලෙක්චර් රූම් එකේ බඩගාන්න එපායැ.

රාළගේ කතා
|
This entry was posted on 01:28 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

1 comments:

On 12 October 2010 at 04:46 , Anonymous said...

කැම්පස් ජීවිතේ ගැන කියන්න ඕන ටික ඔක්කෝම මේ ලිපියේ තියෙනවා.....අපේ තත්වෙත් ඕකම තමා..........