කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය, කඩුගන්නාව, මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති, නෙළුවාකන්දේ ඤාණානන්ද ස්ථවිර මිනිසුන් මෙන්ම තිරිසන් සත්තුද ජීවත් වීමට කැමති වෙති. කිසිවෙක් තම ජීවිතයට හානි පැමිණීමේ දී කැමැත්තක් නොදක්වති. ජීවිතය තමා විසින්ම හානියට පත්කර ගැනීමට අකමැති වෙති. මානව වර්ගයාගේ මෙන්ම සතුන්ගේ ද පොදු ලක්‍ෂණය මෙය වුවත් ඇතැම් අවස්ථාවල තම ජීවිතය තමා විසින් ම විනාශයට පත්කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද තොරතුරු ලැබේ. මෙය මිනිසා තුළ විද්‍යමාන පොදු සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගිය ක‍්‍රියාවකි. පසුගිය දිනක පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයකට අනුව ශ‍්‍රී ලංකාවේ දිනකට සියදිවි නසාගැනීමේ සංඛ්‍යාව පුද්ගලයින් දොළොස් දෙනෙකි. ශ‍්‍රී ලංකාව වැනි ජීවිතයේ අගය කියන, යහපත් ජීවන දර්ශනයකින් හෙබි බෞද්ධ දර්ශනය ක‍්‍රියාත්මක රටක, මෙවැනි සිදුවීම් ශෝචනීය තත්ත්වයකි. ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයින් ජීවත්වන රටක් හැටියට ශ‍්‍රී ලංකාව වැනි රටක, සිය දිවි නසාගැනීම සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනයක් පෙන්වීමෙන් පැහැදිළි වන්නේ සමස්ත ජන සමාජය තුළ විශාල මානසික අවපාතයක්, පෞරුෂීය කඩාවැටීමක් පිළිබිඹු වන බවයි. ගත වූ දෙමසක පමණ ඇතුළත කාලය තුළ මාධ්‍ය තුළින් අනාවරණය කළ ඇතැම් දිවිනසා ගැනීම් සම්බන්ධ වාර්තා කෙරෙහි අවධානය යොමු කිරීමේ දී, පාසල් ප‍්‍රජාව දැඩි මානසික පීඩනයට හසුව ඇති බවක් පෙන්නුම් කරයි. තම ජංගම දුරකථනය පාසල තුළ පරීක්‍ෂාවට ලක් කළායැයි කියන සිදුවීමකට මුහුණ දීමට ඇති නොහැකියාව නිසා තමාගේම ටයි පටියෙන් ගෙළ වැළලා ගත් සිසුවිය, බකමූණ ප‍්‍රදේශයේ විද්‍යාලයක සිසුන් කීප දෙනෙකු එක්තරා ඇට වගයක් කා දිවි තොරකර ගැනීම, මහනුවර පිළිමතලාව ප‍්‍රදේශයේ දී නව යොවුන් වියේ පාසල් දරුවන් දෙදෙනෙකු අඩි 300 ක පමණ ප‍්‍රපාතයකින් පැන දිවි තොරකර ගැනීම. පන්ති කාමරය තුළදී දඬුවමකට ලක්වූ ශිෂ්‍යාවන් එය දරාගත නොහැකිව සිය දිවි නසා ගැනීම, පේ‍්‍රම සබඳතාවයට මව්පියන් හරස්වීම නිසා දෙදෙනාම එකම ස්ථානයක ගෙළ වැළලා ගැනීම, වැනි සිදුවීම් බොහෝදෙනාගේ අවධානයට ලක් වූ ඒවාය. ඇතෙමෙකුට මේවා හුදෙක් ප‍්‍රවෘත්ති පමණක් විය නොහැකිය. සමාජ ගමන් මඟ පිළිබඳව අනාවරණය කරන එක් පැතිකඩකි. පාසල් වියේ පසුවන වයස් කාණ්ඩයේ දරුවන් තුළ පමණක් නොව, වැඩිහිටි ජන සමාජය තුළ ද සදාචාරාත්මක පරිහානිය වර්ධනය වෙමින් පවතින බවට සාධක තිබේ. දියණිය අශීලාචාර ලෙස ස්වකිය අභිලාශයෙන් සපුරාගැනීමට යොදා ගැනීම, කාමුකයින් සඳහා දරුවන් මුදලට විකිණීම, බේබදුකම, සිය ධනය නිලය බලය අනිසි ලෙස යොදාගෙන කාමාපරාධ ඇතුළු සදාචාර විරෝධී ක‍්‍රියාවන් වල යෙදීම වැනි ක‍්‍රියාවන්ගේ වැඩිවීමක් ඇත්නම් එයින් ප‍්‍රකට වන්නේ එකී සමාජයේ වැඩිහිටි පුද්ගලයන්ගේ පෞරුෂයේ බිඳවැටීමයි. පෞරුෂය යන්න පුළුල් අර්ථයක් ඇති වචනයකි. මනෝ විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් හා සමාජ මනෝවිද්‍යාඥයින් මේ පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් කොට තිබේ. සංක්‍ෂේප වශයෙන් ගත්විට පුද්ගලයකුගේ කායික මානසික චිත්තවේගීය සමාජමය හා සදාචාරාත්මක වර්ධනයේ සමුච්චය පෞරුෂය වශයෙන් සැලකීමට පුළුවන. පෞරුෂය නිතර වැඩෙන්නකි. සකස්කළ හැක්කකි. පවුල, ඥාතීත්වය, පාසල, ආගමික ස්ථාන, දේශපාලන සංවිධාන, ජනමාධ්‍යාදී ආයතන පුද්ගල පෞරුෂ වර්ධනයට ඍජු ලෙස බලපාන ආයතන වේ. පවුලක සාමාජිකයෙකු හැටියට ජීවිතය අරඹන මිනිසා මේ ආයතන හරහා තම ජීවිතය ගොඩනගා ගනී. අර්ථවත් ලෙස මෙම ආයතන ක‍්‍රියාත්මක වන ඕනෑම සමාජයක ශ්‍රේෂ්ඨ පෞරුෂ ඇත්තෝ බිහිවෙතිි. ඊට කදිම සාක්‍ෂියක් අපේ රටේ ඉතිහාසය අපට පෙන්වා දෙයි. එක්තරා අවදියක මේ රට සහලින් ස්වයංපෝෂිත විය. යුද කළකෝලාහල නොතිබුණි. සුරාව සූදුව ජනතාවට වෂ විෂ මෙන් විය. එකිනෙකා අතර තරගයක් නොවී සහයෝගීව නැගී සිටීමට ක‍්‍රියා කළහ. එබැවින් රටවැසියා තෘප්තිමත් ජීවිත ගත කළේය. එහෙත් වර්තමානයේ ඒ තත්වය උඩුයටිකුරු වී තිබේ. මෙය වසර ගණනාවක් තුළ බලපෑ යම් යම් හේතූන්ගේ ඵලයන් මිස විප්ලවීය ස්වරූපයෙන් සැනෙකින් සිදුවූවක් නොවේ. වර්තමානයේ ජීවත්වන අප කළ යුතු වන්නේ සිදුවන අසභ්‍ය අශීලාචාර හා සමාජ විරෝධී සිදුවීම් දෙස බලා පසුතැවීම නොවේ. එවැනි ස්වභාවයක් ජනසමාජය තුළ ගොඩනැගීමට තුඩු දුන් හේතු විමසා බලා ඒවා සමාජයෙන් තුරන් කිරීමට ක‍්‍රියා කිරීමයි. බෞද්ධ දර්ශනයට අනුව මිනිසාට ඇති ප‍්‍රබලතම වස්තුව ඔහු සතු මනසයි. පුද්ගල චර්යා තීර්ණ වන්නේ මානසික ස්වභාවයට අනුවයි. ‘‘මනෝ පුබ්බංගමා ධම්මා’’ යනුවෙන් ඒ බැව් දක්වා තිබේ. සෙසු සත්ත්වයන් හා සසඳන විට මිනිස් මනසෙහි සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ ඉතා ඉක්මනින් වෙනස්වීමේ හැකියාවක් තිබීමයි. හිතේ හැසිරීම තීරණය කරනු ලබන්නේ සිතිවිලිවලිනි. සිතිවිලි යහපත් හා පිරිසිදු වන විට සිත ප‍්‍රසන්න වේ. ප‍්‍රසන්න සිතක් ඇත්තාගේ වදන් අර්ථවත්ය. මිහිරිය. සිතිවිලි අප‍්‍රසන්න වු තැනැත්තාගෙන් පිටවන වචන මිහිරි හෝ අර්ථසම්පන්න විය නොහැකිය. ඔහුගේ ක‍්‍රියාකාරකම් ද තමාටත් අන් අයටත් අහිතකර පිණිසම පවතී. අංගුත්තර නිකාය රෝග සූත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ මිනිසාට වැළදෙන රෝග දෙකක් පිළිබඳ සඳහන් කරයි. එනම් කායික රෝග හා චෛතසික රෝගයි. කෙනෙකුට කායික රෝගයකින් තොරව ඇසිල්ලක්වත් ගත කළ නොහැකිය. කායික රෝග හඳුනාගත හැකි වුවත් චෛතසික රෝග හඳුනා ගැනීම පහසු නොවේ. සිරුරට අහිතකර විෂබීජයක් ස්පර්ශ වීමෙන් හෝ ශරීරගත වීමෙන් සිරුර ලෙඩ කරන්නා සේ දුර්වල අරමුණක් ඉඳුරන් හා ගැටීම නිසා සිත රෝගී බවට හැරෙයි. ආශාව, තරහ හා මුලාව සිත අතිශය දුර්වල කිරීමට හේතු වන දරුණුතම විෂබීජයන්ය. ධර්මයේ අකුශල මූල ලෙස මේවා හඳුන්වා තිබේ. කෙලෙස් සිතිවිලි ක‍්‍රියාත්මක වන්නේ ද විවිධ ස්වරූපයෙනි. සියල්ල තමා සතුකර ගැනීමට සිතීම, අන්සතුවනු දැක්ම නො ඉවසීම, ලද දෙයින් තෘප්තිමත් නොවීම, අනෙකෙකුගේ සතුට සැපත නො ඉවසීම වැනි විවිධ ස්වභාවයන්ගෙන් මතු වී එන්නේ සිතක පවතින ලෝභය හෙවත් ආශාවයි. තවත් කෙනෙකුගේ දියුණුව නො ඉවසීම සතුට හා ලාභය දැක ඉවසා සිටිය නොහැකි වීම ද්වේශයේ ප‍්‍රතිඵලයයි. අනෙකෙකුගේ ජයග‍්‍රහණය හමුවේ අවලාද නැගීම අභූත චෝදනා එල්ල කොට ඔහු විනාශ කිරීමට තැත් කිරීම චරිත ඝාතනය කිරීම ප‍්‍රශංසාවට භාජනය වන්නන් තුළ අප‍්‍රසාදය ඇති කිරීමට තැත් කිරීමට කුමන්ත‍්‍රණය කිරීම වැනි හැසිරීම්වලට යොමුවන්නේ තම සිත තුළ උපදින ද්වේෂයේ ප‍්‍රතිඵල හැටියටයි. මුලාව හෙවත් මෝඩකම ඉතා භයානක සිතුවිල්ලකි. පුද්ගල ජීවිතය පහතට ඇද දමමින් ඔහු නොමග යවා ජීවිතය විනාශ මුඛයට රැුගෙන යාම අනුවනකමේ ස්වභාවයයි. සිය දිවි නසාගැනීමට භාජනය වූ දරුවන්ගේ ස්වභාවයත් විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ ඒ හැමදෙනාම චේතසික රෝග උත්සන්න වූ පිරිසක් බවයි. කෙනෙකුගේ චේතසික රෝගී ස්වභාවය තවත් අයෙකුට හඳුනා ගැනීම අපහසු ය. එය හඳුනාගත හැක්කේ ඔහුගේ ඔහුගේ හැසිරීම හා කථා බහ පිළිබඳව පරීක්‍ෂාවෙන් සිටීමෙනි. අප ජීවත්වන වත්මන් සමාජයේ වයස් භේදයකින් තොරව හැමදෙනා තුළම චේතසික රෝග උත්සන්න කරවීමට සමත් විවිධ බලවේග ක‍්‍රියාත්මක වේ. මතට තිත වැඩසටහන, ඇතැම් ජනමාධ්‍ය ආයතන වසා දැමීමට නියෝග දීම, පාසල් බස් රථවලග අශෝභන කැසට්පට භාවිතය අත්හිටුවීම, සිඟිති දරුවන් සිටින මව්වරුනට විදේශගතවීම තහනම් වීම, ජංගම දුරකථන භාවිතය පාසල තුළ තහනම් කිරීම, අසභ්‍ය වෙබ් අඩවි හා චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම තහනම් කිරීම වැනි ක‍්‍රියා මාර්ග ගැනීමට රජයට සිදුවූයේ සංවිධානගත බලවේගවල ශක්තිය දුර්වල කොට මර්දනය කිරීමටයි. නීතියට පමනක් ඉඩදී බලා සිටීමෙන් සියල්ල විසඳාගත නොහැකිය. දෙමව්පියන්ට ගුරුවරුන්ට හා අනෙකුත් සමාජ ශෝධකයින්ට ජනමසමාජය තුළ දළුලන මෙවැනි සංවිධාන දුර්වල කිරීමට කළ යුතු බොහෝ දේ තිබේ. මේ පිළිබඳව ජාතක පොතේ එන මහිලාමුඛ ජාතකය වත්මන් ජන සමාජයට කදිම පාඩමක් උගන්වයි. විනීත කීකරු මහිලාමුඛ නම් රජතුමාගේ මංගල ඇතා අකීකරු ස්වභාවයක් දැක්වූ බැවින් රජතුමා ඒ පිළිබඳව පරීක්‍ෂා කිරීමට භාර කරන්නේ පුරෝහිත බමුණාටයි. ඇතාගේ හැසිරීමේ හදිසි වෙනස්කම පරීක්‍ෂා කිරීම සඳහා බෝසත් පුරෝහිත බමුණා පියවර තුනක් අනුගමනය කරයි. සතුන් පරීක්‍ෂා කරන වෛද්‍යවරු කැඳවා ඇතාට කායික රෝගයක් වැළඳී ඇත්දැයි පරීක්‍ෂා කරවයි. ඒ පළමු පියවරයි. ඇත්ගාල බාර ඇත්ගොව්වන් කැඳවා ඇත්ගාල අවට පරිසරය පරීක්‍ෂා කරවීම දෙවැනි පියවරයි. තමා තුළ වූ අත්දැකීම භාවිතයට ගැනීම තෙවැනි පියවරයි. රාත‍්‍රී කාලයේ මංපහරන සොරුන් විසින් ඇත්ගාල අවට සිට කථාබහ කරන ලද අසභ්‍ය වචන නිසා ඇතා අකීකරුව ඇති බව වටහා ගත් පුරෝහිතයා තපස්වරුන් කැඳවා සභ්‍ය වචන කථා කරන ලෙස උපදෙස් දෙයි. ඒ තුළින් ඇතා පුනරුත්ථාපනය වෙයි. මහිලාමුඛ ජාතකයෙන් අපට කියාපාන්නේ ඇතුන්ගේ හැසිරීමේ වෙනස්වීම අවබෝධකර ගැනීම නොව සමාජගත පුද්ගලයින්ගේ හැසිරීම් පිළිබඳව අවධානය යොමුකරවීමටයි. ළමා අවදියෙන් දරුවා නව යොවුන් වියට එළැඹි පසු දරුවා ගැන තවත් විමසිලිමත්වීම උවමනා නැතැයි සිතන මව්පියෝ බෙහෝ දෙනෙක් අද සමාජයේ සිටිත. කායික විපර්යාසයකට පත් වූ නව යෞවනයාට තම සිරුරේ ඇති වූ වෙනස්කම් පිළිබඳව ඇත්තේ කුතුහලයකි. ඒ පිළිබඳව මිතුරන් සමඟ කථා කරයි. අදහස් හුවමාරු කර ගනියි. සිරුර හැඩවැඩ කිරීම, මිතුරන් ඇසුරට දැඩි කැමැත්තක් දැක්වීම, ආදරය කිරීමට හා ආදරය ලැබීමට ඇති කැමැත්ත, මව්පියන්ගෙන් ක‍්‍රමයෙන් ඈත් වී මිතුරන්ට එකතුවීම, සංයුත්ත චින්තනයෙන් තර්කානුසාරී චින්තනයට ප‍්‍රවේශ වීම, කැපී පෙනීමට ඇති කැමැත්ත, තමන්ට සියල්ල කළ හැකියි යන මානසිකත්වය වැනි ලක්‍ෂණ රාශියක් නව යෞවනයා තුළ ගොඩනැගේ. තම සම වයස්කරුවන් ඉදිරියේ අවමානයට ලක්වීමට අකමැත්තක් දක්වයි. තැත් වරද ක‍්‍රමයෙන් මිදී පියවරෙන් පියවර තර්ක කරමින් ගැටළු විසඳීමට පෙළඹේ. ඉඳුරන් පිනවීමට දැඩි කැමැත්තක් දක්වන බැවින් මුලා වී විනාශයට යෑමට ඇති ඉඩප‍්‍රස්ථාව අධිකය. නව යොවුන් වියේ දරුවන් තුළ ඇතිවන මේ වෙනස වටහාගැනීමට බොහෝ මව්පියන් අසමත්වීම නිසා දරුවන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් ගනුලබන තීරණ දරුවාට අහිතකර ලෙස බලපායි. ඉච්ඡුාභංගත්වය, අසහනකාරී බව, ආත්මවිශ්වාසය බිඳවැටීම වැනි තත්වයන් නව යොවුන් වියේ දරුවන් තුළ ගොඩනැගී ඇත්තේ මේ නිසයි. වත්මන් සමාජයේ දරුවන් තුල ගොඩ නැගෙන මේ දුර්වල මානසිකත්වය නිසාම බොහෝ දෙනෙක් තම ජීවිත වලින් පළා යාමට උත්සාහ කරති. ඒ සම්බන්ධයෙන් දරුවන්ට දොස් තැබීම පසෙක ලා මහිලාමුඛ ජාතකයෙන් පෙන්වූ ආකාරයට දෙමව්පියන් තම දරුවන්ගේ චේතසික ස්වභාවය හඳුනා ගැනීමට උත්සාහ කිරීම ඵලදායී දරුවෙක් සමාජයට දායාද කිරීම සඳහා වන වැදගත්ම පියවරක් ලෙස සැලකිය හැකිය. පැරණි අධ්‍යාපන ක‍්‍රමය තුළ දරුවාගේ පෞරුෂය ගොඩනැගීමට උවමනා දැනුම දීම හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පාසල තුළ ක‍්‍රියාත්මක වුවත් විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක‍්‍රමයක් පවතින වර්තමාන පාසල් අධ්‍යාපනය තුළ එවැන්නක් අපේක්‍ෂා කළ නොහැකිය. එබැවින් වත්මන් සමාජයේ දරුවාගේ පෞරුෂ සංවර්ධනයේ කාර්යය මව්පියන් සතු එකක් වීම අනිවාර්ය විය යුතුය.


දම්සර තුලින්
|
This entry was posted on 05:01 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

1 comments:

On 14 June 2012 at 21:14 , samanalee said...

demaupiyange ekama pethuma daruwanya.owun siyalla karanuye daruwan wenuweni.e siyalla kalada,oba daruwnge hegeem,situwili awaboodakra nogena,owun samaga duka sepa beda nogatahoth e siyalu petuman obata ahimi wanu ata.daruwn oben soyanne jevitayai.asillakata oba owungen midunoth owun asarana wee wenath maarga kara yai.daruwn sarungal meni.nidahase seri sarannata owunta ida denna.oba sarungalaye nuula thadakota rekaganna.