ඉතිහාසයෙන් රස බර කතා
01:20 | Author: දුෂාන්
රජ වාසලේ කවටයා යැයි නම් ලැබූ එහෙත් ප‍්‍රබල මහජන නියෝජනයක් වන ”අන්දරේ”ගේ දේශපාලන උපහාස කතා කිහිපයක්ම මීට පෙර ද ඉතිහාසයේ රස කතා තුළින් අපි ඉදිරිපත් කළෙමු. මෙවර ද අප ගෙන එන්නේ අන්දරේ පිළිබඳව ඔබ අසා ඇති රසවත් කතා පුවතකි. එදා මෙදා කාලය තුළ අන්දරේගේ දේශපාලන උපහාස කතා ඇසූ අපේ සමාජයට ඔහුගේ කතා කිසි විටෙකත් අදාළ නොවූයේ ඔහුගේ කතා හරහා මතු කෙරෙන පොදුජන යථාර්ථය සහ දේශපාලන යථාර්ථය අතර ඇති පරස්පරතාව හේතුවෙන් බව පුනපුනා කිව යුතු නොවේ. හොඳ හැටි බඩ පුරවාගෙන හුන් අන්දරේ රජ මාළිගාවෙන් කිරි කෑ කතාව ඔබ බොහෝ දෙනා දන්නවා ඇත. ඒ කතාව අපි යළිදු සිහිපත් කොට බලමු. සුපුරුදු පරිදි අන්දරේ රජ මාළිගාවට පැමිණෙන විට රජතුමා සිටියේ ආහාර වළඳමිනි. අන්දරේගේ උසුළු විසුළු ගැන හොඳ හැටි දන්නා රජතුමා අන්දරේට ද කෑමට ආරාධනා කළේය. එහෙත් අන්දරේ රජුගේ ආරාධනය කාරුණිකව ප‍්‍රතික්ෂේප කළේ මෙසේය. ”අනේ බෑ දේවයන් වහන්ස. මම ගෙදරින් හොඳ හැටි කෑම කාලයි ආවෙ. තවත් කිසිම දෙයක් කන්න බැරි තරමට මගේ බඩ දැන් පිරිල තියෙන්නෙ.” ඒකත් එසේ දැයි ඇසූ රජතුමා ”මාළිගාවට ගෙනාපු අලූත් මී කිරි නම් තියෙනවා. එහෙමනං මී කිරි ටිකක්වත් කමුද අන්දරේ” කියමින් අන්දරේගේ සිත පරීක්ෂා කර බැලීමට කල්පනා කළේය. රජුගේ යෝජනාවත් නරක නැතැයි කල්පනා කළ අන්දරේ රජුගේ යෝජනාව එක් වරම අනුමත කළේය. ”ආ මී කිරි ද දේවයන් වහන්ස. මී කිරි නම් ඔන්න ඔහේ ටිකක් කමු.” අන්දරේ කීවේ ගණනකට නොගෙනය. කිරි ටිකක් කමු යැයි කී අන්දරේ මී කිරි හට්ටි ළඟට ගෙන ඇති පදම කන්නට පටන් ගත්තේ කිසිම අපහසුවකින් තොරවය. අන්දරේගේ මී කිිරි කෑම දෙස හොඳ හැටි බලා සිටි රජතුමාට සිනහ පහළ විය. අනෙක් අතට රජු වඩාත් පුදුමයට පත් විය. ”අන්දරේ මුලින් කීවේ කිසිම දෙයක් කන්න බැරි තරමට බඩ පිරිලා කියල නේද? එහෙම නම් මේ තරම් කිරි කන්නේ කොහොම ද?” රජ අන්දරේගෙන් එසේ ඇසුවේ අන්දරේ කළ බොරුව රජු ඉදිරියේම ඔප්පු වනු ඇතැයි සිතාය. එහෙත් රජු ඇසූ පැනයට අන්දරේගෙන් ලැබුණු පිළිතුර රජු කිසි විටෙකත් බලාපොරොත්තු වූවක් නොවේ. ”ආ ඒක ද දේවයන් වහන්ස. පිරුණු බඩෙත් ඉඩ ලැබුණේ කොහොම දැයි මම ඔබ වහන්සේට පෙන්නන්නම්කෝ.” අන්දරේ කීවේ වඩාත් සැහැල්ලූවෙනි. එහෙත් එය රජතුමාගේ කුතුහලය හා සැකය තවත් වැඩි කරවන්නක් විය. අන්දරේ කරන්නට යන්නේ කුමක් දැයි බලා සිටීමට රජතුමාට අවසානයේ සිදු විය. මාළිගාවේ සේවයේ යෙදී සිටි රාජ්‍ය සේවකයන් සියලූ දෙනා ද තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට රාජ මාළිගාවට පැමිණ සිටි මහ ජනතාව ද කැඳවාගත් අන්දරේ ඒ සියලූ දෙනාම මාළිගාවේ කුඩා කාමරයකට කොටු කර තැබීය. ඒ කුඩා කාමරය අවසානයේ රාජ්‍ය සේවකයන්ගෙන් ද මහජනතාවගෙන් ද පිරී යන්නට විය. එකිනෙකා තද වෙමින් මිරිකෙන්නට වූහ. ඔවුහු තැලෙමින් පෙළෙමින් දහදිය වගුරුවන්නට වූහ. වෙනත් කිසිදු ඉඩක් සෙනගින් පිරී ගිය ඒ කුඩා කාමරයේ තිබුණේ නැත. ”දේවයන් වහන්ස ඔබ වහන්සේ දැන් මේ කාමරයට යන්න.” අන්දරේ රජුට ආරාධනය කළේය. ”ඇඟිල්ලක් ගහන්නට ඉඩක් නැති සෙනග පිරුණු මේ කාමරේට මම කොහොම යන්න ද අන්දරේ.” රජු එසේ කීවත් අන්දරේ නිරන්තරයෙන්ම කළ ඉල්ලීම නිසා ටිකෙන් ටික කාමරයට ඇතුළු වී පිරිස අතරට සමීප වන්නට රජුට සිදු විය. රජ තමා සමීපයට එනු දුටු රාජ්‍ය සේවකයෝ සහ මහජනතාව බියෙන් ත‍්‍රස්තව වෙවුලමින් ටිකෙන් ටික පිටුපසට යන්නට වූහ. පිරිස එකා පිටුපස එකා නැගෙමින් මිරිකෙමින්, යටවෙමින්, පෑගෙමින් රජුට ඉඩකඩ සලසා දෙන්නට පුදුම විදිහේ මහන්සියක් ගත්හ. ඒ නිසාම කිසිම අපහසුවකින් තොරව කාමරයට යෑමට රජුට ඉඩකඩ සැලසුණි. අවසානයේ කාමරයට ගිය රජතුමාගේ සිරුරේවත් නොගෑවීමට රාජ්‍ය සේවකයෝත් රටවැසියාත් වගබලා ගත්හ. මෙම කි‍්‍රයාව අවසානයේ අන්දරේ කීවේ මේ ටිකය. ඉඩ නොතිබුණ කාමරේ රජතුමාට ඉඩ ලැබුණා වගේ තමයි පිරී තිබුණු මගේ බඩෙත් කිරිවලට ඉඩ ලැබුණේ. තත්ත්වය තේරුම් ගත් රජතුමා කිසිවක් කියන්නට ගියේ නැත. මේ කතාව අන්දරේ කිරිවලට බඬේ ඉඩ පෙන්වීමට ගෙතූ එකකට වඩා ගැඹුරු යටි පෙළක් සහිත එකකි. ඒ අනුව මෙයින් පෙනෙන්නේ මහජනතාව පාලකයන්ට මොන තරම් බය පක්ෂපාත ද යන්නය. පාලකයන් කියන ඕනෑම දෙයකට හිස වනන බොහෝ රාජ්‍ය සේවකයන් කවර දුක් ගැහැට විඳගෙන වුව ද පාලකයන් ආරක්ෂා කිරීමටත්, ඔවුන්ට සුව පහසුව සැලසීමටත් ගැති වී තිබෙන සැටි මේ කතාවෙන් විනිවිද දැකිය හැකිය. මහජනයාත් රාජ්‍ය සේවකයනුත් පාලකයන් නිසා විඳින පීඩා දැන දැනත් ඒවා ඉවසා ගෙන කොඳු නවාගෙන සිටින සැටි කතාවේ ප‍්‍රබල යටි පෙළින් නොකියා කියයි. පිරිස කැටි වුණු කාමරයේ රජුට සුව පහසුව සිටින්නට ලැබීමෙන්ම පෙනෙන්නේ පාලකයා සහ මහජනතාව අතර සබඳතාව මොන තරම් දුරස්ථ වූවක් ද යන්නය. මෙනයින් බලන කල දේශපාලන යථාර්ථය විනිවිද දකින උපහාස කතා මහජනයාට සමීප කළ අන්දරේ අප කා තුළත් නොමියෙන කතාකරුවෙකි.

සබැදිය ලංකා දීපෙයන් -
|
This entry was posted on 01:20 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments:

On 29 September 2010 at 02:07 , නිශාන්ත said...

මේ කථාව කළින් අහල තිබුණත් මේ වගේ යටි අරුතක් තියෙනව කියල හිතුණෙ අද මේ ලිපිය කියෙව්වට පස්සෙ...ඇත්තටම හොඳ ලිපියක්....

 
On 29 September 2010 at 03:43 , dinesh said...

ඕක හැබැයි අපේවාගෙ රටවල්වල තමයි ගොඩක් දකින්න තියෙන්නෙ.