මදුරුවෙක් ඇවිත් අතේ වහනව. ඌ විදින්න ඉස්සර කෙළගාල මගේ හම පදං කරනවා. ඔන්න මට රිදෙනවා. ඊට පස්සෙ “චටාස්”, නෑ කතාව පටං ගත්තෙ උවමනා තැනට ගොඩක් පස්සෙ. ඊට ඉස්සර තව ටිකක් තියනව කියන්න. ම්….කොතනින්ද පටන් ගන්නෙ. හරි ඔන්න මම ප්ලැට් එකේ පඩි පෙළ දිගේ වෙරි මරගාතෙ උඩු අතට පඩි පේළි පහු කරනවා. ඊට පස්සෙ හරහට.


BLOCK A 14
BLOCK A 15
BLOCK A 16
BL…………ම්ම්…
නෑ එතනත් නෙවෙයි මුල. තව එහාට ගිය හැකියි. මං හිතන්නෙ හොඳම තැන ත්‍රීවීල් එකට ගොඩ වුණ තැන. වෙලාව රෑ එකොළහයි.
—ප්ලැට් එකේ BLOCK A ළඟට කීයද ”
ජීවිතේට මෙතන ඉඳං ත්‍රීවීල් වල නොගිය මට මහ අපහසුවක් ඇති වුණා.
“රුපියල් හතලිහක් වත් ඕන මේ වෙලාවෙ ”
“හරි දෙන්නං. එනවා”
“හැබැයි මහත්තයෝ ගාන කතා කරාට පස්සෙ ඉන් එහාට නං අඩියක් වත් යන්නෙ නෑ. BLOCK A නම් A විතරයි”
“හරි හරි ඕයි. මොකද මං තමුසෙව තුන්වෙනි තට්ටුවට එක්කං යන්නයැ. ත්‍රීවීල් වලට පඩි පේළි නගින්න බැරි බව මං දන්නවා” ත්‍රීවීල් එක පියාඹනවා, මාත් පියාඹනවා. මාර වේගෙන් යනවා. මට ටිකක් සතුටු හිතුනෙ මේ වේගෙන් මදුරුවන්ට පියාඹන්න බැරි එක ගැන. ඉතිං මරේ මරු.

ඒත් පව් කියලත් හිතෙනවා මදුරුවන්ට ත්‍රීවීල් නැති එක ගැන. ඒත් මට මොකද මේ මදුරුවො ගැන මේ තරං රුදාව. බැල්ලිගෙ පුත්තු. ඇඟ හැමතැනම කනවා. රෑ තිස්සෙම නිදාගන්න නෑ. අල්ලපු BLOCK එකේ ආරියතිලකයට අන්න බරවලූ. ලෙඩේ නං හැදුනත් කමක් නෑ. පරීක‍ෂා කරවන්නම රුපියල් හයසීයක්. මාසෙ පඩියෙන් භාගයක් මදුරුවො කෑව කියල උගෙ ගෑනි කියනව මං අහගෙන.

මැලේරියා මර්දනය කරන අය පගා ගහනව ඇති මදුරුවන්ගෙන්. නැත්නං ඔය වසංගතේට මෙච්චර වියදං කරන රටේ ඔච්චර මදුරුවො කොහෙන්ද? මදුරු දැල් ගැන මතක් වෙද්දිත් මට මාර හිනා. අපේ ගෙදර මදුරු දැලේ හිල්වල සයිස් එක දැක්කොත් මදුරුවොත් හිනා වෙලා මැරෙනව. සමහරදාට උදේ ප්‍රියා මට තේ එක දෙන්නේ මදුරු දැලේ හිලකින්. ඇයි මම හදිස්සියට එළියටත් පනින වෙලාවල් තියෙනව හිල් වලින්. ”
“සර් BLOCK A”
“ඉතිං මට කියන්නෙ බහිනවා”
“මම”
“ආ සොරි මමනෙ බහින්න ඕන. තමුසෙ නේද ත්‍රීවීල් එක එළවගෙන ආවෙ ?”
සාක්කුව ඇද්දම තමයි මතක් වුණේ ණය ගෙවල ඉතිරි වෙච්ච පඩි පැකට් එක කනපිට හරවලානෙ බාර් එකට ගෙව්වෙ කියලා. මට ලැජ්ජාව වැඩිකමට මුත්‍රා බරකුත් හැදුන. මොකද දැං කරන්නෙ? —ම්, හරි විට්ටච්චි ගෙන් ඉල්ලල දෙනවා.~
” තව BLOCK දෙකක් ඉස්සරහට යමු”
“ඔය මං සුද්ද සිංහලෙන් මහත්තයට කිව්වනෙ අඩියක් වත් හෙලවෙන්නෙ නෑ මෙතනිං එහාට කියල”
මගේ සියලූ උපකල්පන වැරදී ගොසිනි. දැං ඉතිං මොකද කරන්නෙ. මේ ගෑනි ගෙං නං ඉල්ලලා යමක් ගන්න එක ලේසි නැහැ. මදුරුවො දෙතුන් දෙනකුත් වටපිටාවෙ කැරකෙන නිසා මම නැග්ග ආයෙත් ත්‍රීවීල් එකට.
“අන්න එහා පේන ලයිට් එක ගාවට යං”
“හරි මරගාතයක් තමයි මට කඩා වැටුනෙ. ආයෙත් නං අඩියක් වත් හෙළවෙන්නෙ නෑ”
“රුපියල් හැත්තෑපහක් දෙන්නං. මොකද කියන්නේ”
“හැත්තෑපහක් තියා සතයක්වත් අතේ නැතුව ත්‍රීවීල් එකට ගෙවන්න සල්ලි හොයන්න යන්නෙත් ත්‍රීවීල් එකෙන්මයි”
ඩ්‍රැයිවර් එහෙම කිව්වට ත්‍රීවීල් එක “හා” කිව්ව “බ්රූම්”ගාල.
චිහ්: මේ වෙච්ච සංගතිය හින්ද කතාවෙ හොඳම හරිය කියන්නත් පරක්කු වෙනවා. එක්කො කලිං පටං ගත්ත තැනින්ම පටං ගත්තනං ඉවරයි කියලත් හිතෙනවා. ඔව් එහෙම කරමු.
ඔන්න කොහොමින් හරි මගේ වෙරිය හිඳෙන්නට පෙර සල්ලි ගෙවන්න යාළුවෙක් හොයා ගන්න පුළුවං උනා. වෙරි හිඳුනනං මාර වැඩේ. එතකොට ලජ්ජා හිතෙනවනෙ.
ඔන්න මං ෆ්ලැට් එකේ පඩිපෙළ දිගේ වෙරි මරගාතෙ උඩු අතට පඩි පේළි පහුකරනවා. ඊට පස්සෙ හරහට.
BLOCK A 14
BLOCK A 15
BLOCK A 16
BLOCK A 17
දොර වහල.
“හරි හරි අයිසෙ මං තමුසෙට වැඩිපුර දහයක් දෙන්නං”
රුපියල් දහයේ ආනිසංසෙන් ආයෙත් ත්‍රීවීල් එක ඉදිරියට ඇදෙනවා. චිහ්: මදුරුවෙක් එහෙම දැක්කද දන්නෙ නැහැ වෙච්ච සිද්දිය. එහෙමනං ඉතිං මදුරුවො කාල මැරෙනව හොඳයි.
හැබැයි මං මේ කියන මදුරු කතාව තේරුං ගන්න තව ටිකක් අතීතෙට යන්න වෙයිද දන්නෑ. මං මෙච්චර මේ මදුරුවො ගැන කියවන්නෙ මොකද කියලත් හිතෙනව ඇතිනේද? නෑ ඒත් කමක් නෑ. තව එහාට ගිහිං මොකටද වචන වියදං කරන්නෙ. අපි යමු ඉස්සරහට.
“සර් BLOCK එක‍”
“ඔහොම පොඩියක් ඉන්නවා”
විට්ටච්චි ඉන්නවද බලන්න ඕන. මිනිහ ගාවනං සල්ලි ඇති. ඒ යකා දැං අරක්කු බීමත් නවත්තලනෙ. යහමින් සල්ලිය භාගෙ අත ගෑවෙනවා ඇති. අපිත් නං ඉතිං සල්ලි අතගානව තමයි. ඒත් අතගානව විතරයි.
“ට්‍රීං”
ම්හ්, සද්දයක් නැහැ
“ට්‍රීං…..ට්‍රීං……ට්‍රීං…..ට්‍රීං……ං”
මේ යකා කොහෙවත් ගිහිංද. බලමු ආයෙත් පාරක්.
“ට්‍රීං…..ට්‍රීං……ට්‍රීං…..ට්‍රීං……ං”
හරි හරි ලයිට් එකක් පත්තු වුණා. ඒත් ගෑනි විතරක් හිටියොත් කොහොමද ඉල්ලන්නෙ. ලැජ්ජාවෙ බෑනෙ. ඒත් මොකට ලැජ්ජ වෙනවද? කොහොම උනත් හෙමිං ඉල්ලන්න ඕන. වටපිටාවෙ මදුරුවො ඉන්න බැරි නැහැ. කිව්වත් වගේ ගෑනි තමා එන්නෙ. ෂුවර් එකටම විට්ටච්චි ඉන්න ඕන කියල මට හිතෙනවා.
“ආ මේ මිස්ට නෙ. මොකද මහ රෑ හොඳටම බීල වගේ”
“ඔ” නෑ~ ම්~ කෝ නැද්ද විට්ටච්චි”
“අනේ ඊයෙ ගිය ගමන් තාම ආවෙ නෑනෙ”
දැං ඉතින් කෙළවෙනවා. කථාව දිග්ගැහෙන හින්ද මා ඉක්මණටම ගෙදර දොර ළඟින් පටන් ගන්නං. අනිත් එව්ව අමතක කරල දාන්න.
BLOCK A
“ටොක් ටොක්”
ම්හ්
“දඩිං බිඩිං”
ඒත් නැහැ.
දඩෝං ”
කකුල ටිකක් රිදුනට ඇතුලෙන් ලයිට් පත්තු වුණා. මේ යස්සනී නිදාගත්තම මැරිල වගේ. ඒත් ප්‍රියාට බැනල වැඩක් නැහැ කියල හිතෙනවා. ඒකි උදේ ඉදං මැෂිමත් එක්ක දාන දහිරිය අනුව දවසට දවස් දෙකක් නිදා ගන්න ඕන.
“ඔයා අද රෑ වෙලා”
“ඔව් අද විසිපස් වෙනිදනෙ”
අද මුළු ෆ්ලැට් එකේම දොරවල් වැහෙන්නෙ ඇරෙන්නෙ මේ වෙලාවට. ඈත BLOCK එකකින් ඇහෙනවා කුණුහරුප පේළියක්. ඌ කුණුහරුප වලින් පදමාලාවක් හදල තනුවක් දානවා.

මම වැනි වැනී ගිහිං කාමරේ ලයිට් එක දාන කොටත් ප්‍රියා ඇඳට වැටිල ගොරවනවා. කමිසෙ ගැලවිලා ඉස්කිරිමට වැටුනා. සපත්තු දෙක ඇඳ යටට රිංගුවා. කලිසම ටිකක් කල්පනා කළා, සරම කොහෙද කියල. ඒත් සරම හම්බවුණේ නැති නිසා කලිසමත් ඉබේටම ගැලවිලා ඉස්කිරිමට ගියා. යට ඇඳුමුත් ඒ පාරෙම ගියා. මං දැං හෙළුවැල්ලෙන් කාමරේ එහාට මෙහාට කැරකෙනවා.

ප්‍රියාව නැගිට්ට වන්න හිතුනත් පව් කියල හිතිලා නිකා හිටියා. කෝකටත් එයා නිදන එක හොඳයි මගේ මදුරු කතාව එතකොට නිදහසේ කියන්න පුළුවනි. මං ඒ බලාපොරොත්තුවෙන් ලයිට්එක නිව්වා. අඳුර “බකස්” ගාල කාමරයට කඩාගෙන වැටුණත් ටික ටික

දියවෙන්න පටන් ගත්තා. එළියෙන් ඇතුළට ආලෝකය කාන්දුවෙලා ආපහු අඩ අන්දකාරෙ ඇතිවුණා. තවමත් මං හෙළුවෙං. ඇඳ උඩිං හිමීට ඉඳ ගත්තා. ප්‍රියා ඇහැරුනොත් වැඩේට බාදයි. ඒත් අඩඅඳුරෙ දකින ඒකිගෙ රූපයට මගේ හිත වශීවෙලා. මං පාත් වෙලා මූණ ඉම්බා. ගල් පිළිමයක් වගේ එයා එහෙම්ම ම හිටියා.

මං අනෙක් පිට හැරුනා. මං දැං නොඉවසිල්ලෙන් ඉන්නෙ එක්තරා රුවක් දැක ගන්න. ඒත් එයා පරක්කුයි. දැං කාමරයට හොඳටම එළිය තියෙනවා. අල්ලපු BLOCK එකෙන් ආලෝකය තවමත් මෙහාට කාන්දු වෙනවා.

බිත්තියේ පුංචි කුරුමිනියෙක් එහා මෙහා ඇවිදිනවා. හූනෙක් හිමිං ඌට කුරුමානම අල්ලනවා. ඔන්න හූනා තත්පරයක් බලාගෙන ඉඳලා කුරුමිනියට ළං වෙනවා. කුරුමිනියා ඔහේ බිත්තිය දිගේ ඇවිදිනවා. මහා හෑල්ලූවෙන් ඇවිදගෙන යන ඌට මරණය ගැන ගානක් වත් නෑ. හරියට අපි වගේ හූනගෙ කට ලඟිනුත් ගිහිං. ආයෙත් ඈතට යනවා. හූනට ඒ පාර හොඳටම කේන්ති ගිහිං. නැට්ට කරකවල කුරුමිනියව කන්න හදනවා. බිත්තිය දිගේ කුරුමිනියා ආපහු ඈතට ඇදෙනවා. යාං තං ඌ බේරෙයි කියල මට හිතුනත් ඒ ගොං තකතීරු කුරුමිනියා ආපහු එනවා. හූනත් වලිගෙ කරකවල කන්න බලාගෙන ඉන්නවා. කුරුමිනියා කඩාගෙන බිඳගෙන හූනදිහාවට ඇදුනා. ඌ ආපු වේගෙට නැවතුනේ හූනගෙ බඩ යට. මෙන්න බොලේ හූනා ආපහු හැරිල හුරේ රන් කියල දුවනවා. දුවල ගිහිං අල්මාරිය යටට රිංගුවා. කුරුමිනියා ආයෙත් ඔහේ ඇවිදගෙන ගියා. මට හිනා. ඒ කුරුමිනියා එක්කරගෙන යන්න හිතුනා අපේ වෘත්තීය සමිතියෙ සභාපතිය ගාවට. සභාපතියට පාඩමක් කියල දෙන්න. කොන්දක් නැති මී හරක්.
මේ මං මොනවද කියවන්නෙ. ආයෙත් කාලේ පැනලා. දැං බහිමු කාරණයට.

ඔන්න මදුරුවෙක් ඇවිත් අතේ වහනවා. ඌ විදින්න ඉස්සර කෙළ දාල මගේ හම පදං කරනවා. ඔන්න දැං මට රිදෙනවා. ඊට පස්සෙ “චටාස්” ගාල ගහන්න ඉස්සර මං ඇස් ළං කරල බැලූව ඒ “මදුරි” මද කියල. (මදුරි කියන්නෙ මදුරුවගෙ ගෑනු සතාට. ඒ වචනෙ හරිද වැරදිද කියල හොයාගන්න හිතවත් මහාචාර්යවරු කීප පළක් ගාවට ගියත් කාර්යය ඉටු වුණේ නැහැ.)
“මදුරි”
“ම්”
“මොකද කතා නැත්තෙ?”

“ඇයි උස්සපු අතෙන් ගැහුවෙ නැත්තෙ”
ඒක මාර ප්‍රශ්නයක් ඒත් මං කතා කළේ නෑ.
“ඒයි”
එයා කතා කරනවා.
“ඇයි”
“ඇයි දෂ්ඨ කරලත් ලේ නොබී බලාගෙන ඉන්නෙ”
මමත් එකට එක කරා. දෙන්නටම බකස් ගාලා හිනා ගියා. ප්‍රියා ඇහැරෙයි කියල මට බය හිතුනා. ඉස්සර ප්‍රියාගෙ කණට කරල කණුහරුප කිව්වමත් අපි දෙන්න හිනා වෙන්නෙ එහෙමයි.
“මොකක්ද අර දුමක් එන්නෙ”
මම පුදුම විදියට කලබල වුණා. අනේ අම්මපල්ල මේ ගෑනි මදුරු දැල දාන්න කම්මැලි කමට කරන වැඩ.
“ඒ මදුරු දඟරයක්, ඉන්න මං නිවල දාන්නං ඔයාට අමාරු ඇති”
“අපොයි නෑ මට ගානක් වත් නෑ”
මට පොළව පලා ගෙන යන්න හිතුනා. මං කිව්වෙ නැද්ද මේ මදුරු නාශක හදන්නෙ මදුරුවොම වෙන්න ඕන කියල.
“ඔයා අද හොඳටම බීල නේද?”

මදුරුවො උනත් ගෑනු ජාතියෙ සමාන ලක‍්ෂණ තියෙනව කියල මට හිතුනා. මම එයාව නහය ළඟට ළංකරල ඉඹින්න හැදුවා.
“එපා”
“ඇයි”
“මාව පොඩි වෙයි”
මගේ වෙරිය තාම හිඳී නැති බව මම ප්‍රත්‍යක‍්ෂ කර ගත්තා. මට හිතුන ඊයෙ සිද්දිය ගැන අහන්න.
” එයා ඊයෙ බැන්නද ? ”
” මොකටද? ”
” නෑ~ ඔයා මගේ ලේ උරා නොබී මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියෙ ඇයි කියල ඇහුුවෙ නැද්ද ? ”
” ඒක අහන්න දෙයක්යැ. හිතා ගත්තෑකිනෙ ”
” ඒ කොහොමද ? ”
” ඔය ඇඟේ උරා බොන්න තරම් ලේ තියෙනවයැ ”
” අනේ අම්මප මෙහෙමත් ගෑනු කොට්ඨාශයක්. අපිව හෙළා දකින්නමනෙ ලෑස්ති වෙන්නෙ. එක අතකින් මදුරි වැරදි නෑ කියල හිතුන.”
යළිත් මොහොතක් මම පි්‍රයා දෙස බැලූවේ ඈ අවදි වේ දැයි සැක හැර දැන ගැනීමට.
ජනේලයෙන් මදුරුවෙක් පියාඹා එනවා මට පෙනෙයි. එකත් එකටම “මදුරි” ගේ මදුරුවා වෙන්න ඕන. දැං මං මොකද කරන්නේ. මට දුවන්න හිතුනත් දිව්වෙ නෑ හෙළුවැල්ලෙන් ඉන්න නිසා. කොහොමත් පිරිමි මදුරුවෝ ලේ නොබොන නිසා හිත හදා ගත්තා. මදුරුවා කණ ගාවින් “කූං” ගාගෙන පියෑඹුවා අහස් යාත්‍රාවක
බෝම්බ හෙලන්න ඉස්සර මාන බලනවා වගේ. කාමරේ දොරෙන් පිටට ගිය ඌ ආපසු ඒ දැයි මම විපරම් කළා.
“ඒ එයාද”
“ඔව්”
“ඉතිං දැං මොකද කරන්නෙ”
“කරන්න තියෙන්නෙ මරාගෙන මැරෙන එක”
“අනේ එපා එයාට කරදරයක් කරන්න එපා”
“මදුරි කඳුළු වගුරන්න පටන් ගත්තා. ඒකත් ඇත්ත තමාගෙ මනුස්සය මරණවට කැමති වෙයියැ. මට ප්‍රියා ගැන හිතුනා. මාව මරන්න විශාල යෝධයෙක් එනවා, යෝධයා ප්‍රියා එක්ක හාදකං පවත්වනවා, යෝධයා ලව්වා මාව මරවන්න හදනවා. යෝධයා තඩි අතක් උස්සලා මට ගහනවා.,
“බුදු අම්මෝ”
හරි වැඩේ ප්‍රියා ඇහැරිලා මදුරිව දකීද දන්නෑ.
“මොකද ඔයා හීනෙං බය වුණාද ? කෝ සරම ?”
“සරම මේ~
හැබෑවටම සරම කෝ. හරි මම සරමක් ඇන්දෙ නෑනෙ.
“ඔයාගෙ ඇගේ මදුරුවො කනවා නේද ?”
“නෑ කමක් නෑ”
“කෝ මං කොයිල් එකක් පත්තු කරා. ඒකත් නිවිලා. අපි නෙට් එක දාමු.~
“එපා”
“ඇයි ළමයෝ. ඔය ඔයාගෙ අතේ මදුරුවෙක් කනවා”
“දෙයියනේ මං මොකද කරන්නෙ. එක්කො මදුරි යන්න දැන ගන්න ඕනි. එයත් එක්ක අනිසි ඇසුරක් ඇරඹීම මහා මෝඩ කමකැයි මට සිතේ.
“මදුරුවො මරන්නැතුව ඔයා රහත් වෙන්නද යන්නෙ”
මට කියාගන්න දෙයක් නැත. කරගන්න දෙයක් නැත. ගෑනියක් සමග හොර ඇසුරක් පවත්වන්න මෙතරම් අමාරුවක් නැත.
“කෝ ඉන්න මං ඌව මරළ දාන්න”
ඒ පාර ප්‍රියා කරදර කරයි. ජනෙල් කවුළු වෙන් ලයිට් එළිය ගලා නාවානම් මේ කිසි කරදරයක් නැත. එතකොට කට්ට කළුවරේ මේ කතාව කියල දාන්න තිබුණ. මදුරිත් ප්‍රියාට දෙවැනි නෑ මෝඩ කමෙන්. මේ වෙලාවෙ මග ඇරිය නම් ඉවරයිනෙ. මට දාඩිය දමාගෙන එයි.
“ඔයාට මොකද වෙලා තියෙන්නෙ. කෝ ඉන්න මං ඌව මරන්න.”
“එපා එපා”
“එපා ? ”
“ඔව් එපා ඔහේ හිටිය දෙං”
“ඇයි”
ප්‍රියා නැගිටලා වැරෙන් අතට ගැහුවා. දසමෙන් මදුරි බේරුණා. එසැනින් එයා ඉගිල්ලූනා.
“අනේ යන්න එපා”
මට කියවුණා. මදුරි ආපහු වටයක් අපි දෙන්න වටේ කැරකුනා. ප්‍රියා උඩ පැනලා මදුරිව අල්ලන්න හදනවා. මට යකා නැග්ගා. මං ප්‍රියාව පැත්තකට ඇදල දැම්මා. ඒත් එයා දරද~ු වුණා. මගේ ඉවසීමේ සීමාව පහුවුණා. වැරෙන් පාරක් ගැහුවාම ප්‍රියා ඇඳ උඩ වැටුණා. මදුරි ජනෙල් කවුළුවෙන් එළියට පියෑඹුවා.
“ආයෙත් හෙට එන්න”
මං එහෙම කීවම එයාගෙ ගමන ටිකක් බාල කරා. ආපහු හැරිල මගේ කණ ගාවිං යන ගමන් මෙහෙම කියනවා.
“මං ආයෙත් එන්නෙ නෑ. ඔය දෙන්න හොඳිං ඉන්න”
හත් දෙයියනේ මට ඇතිවුණේ පුදුමාකාර දුකක්. මං ජනෙල් පොළු බදා ගත්තා. මට ඇඬෙනවා. ක`දුළු බේරෙනවා. අසරණ වෙච්ච මං ඇඳ දිහා බැලූවා. ප්‍රියා හිමිං ඔළුව අත ගගා නැගිටිනවා.
එයා ඔළුව අත ගාන ගමං හිනා වෙනවා. මගේ හිත ටිකක් හෑල්ලූ වුණේ රවන්නෙ නැති නිසා. මං මේ වෙලාවෙ එයාට මොනව හරි කියන්න ඕනි.
“ඔයා තරහද ? මට මොනව උනාද කියල මතක නෑ. මට ටිකක් වෙරි වැඩි වුණා ද දන්නෑ. මට මුකුත් සිහි නෑ.”
මම මට වෙච්ච දේ අරක්කු වලින් වහ ගන්න හදනවා.
“මං දන්නවා ඔයාට සිහිය නෑ කියලා”
“ඒ කොහොමඳ ?”
“ඔය සරම ඇඳ ගන්න”
ඇඳ විට්ටමේ තිබී හමුවූ සරමට බැස්ස මම ජනේලයෙන් එළිය බලාගෙන කල්පනා කළා.
“දැං ඔය සිද්ධිය අමතක කරල දාමු~
ප්‍රියා එහෙම කීවට ඒක කොච්චර අමාරුද ? ඒක සිද්ද වෙන්න නම් මදුරු සංහතියම නැති වෙන්න ඕන.
“ඒක කරන්න බෑ ප්‍රියා”
“ඇයි බැරි ?”
“මදුරු තෙල් කාරයො පගා ගහනවා”


වසන්ත දුක්ගන්නාරාළ
|
This entry was posted on 19:41 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

1 comments:

On 20 November 2010 at 02:09 , Anonymous said...

ය​කෝ මේක සිරිකෑන් එකක්​ නෙව.. අදමයි මේක දැක්කේ.. එලමැයි..